2014-11-17

‘කිං ඛාන්’ ට ප්‍රහාරයක්

ෆාරා ඛාන් අධ්‍යක්ෂණය කළ ‘හැපි නිව් ඉයර්’ චිත්‍රපටය ගැන පසුගිය සති කිහිපය තිස්සේ බොහෝ දෙනෙකු අදහස් පළ කර තිබුණා. ඒ හැම කෙනෙක්ම කතා කළේ මේ චිත්‍රපටයේ සාර්ථකත්වය ගැනයි. එහි වරදක් නම් කියවුණේම නැහැ. ඒත් පසුගිය සතියේ, ප්‍රවීණ නිළියක වන ජයා භච්චන් විසින් ප්‍රසිද්ධියේ කරන ලද ප්‍රකාශයකින් සියල්ල වෙනස් වුණා.

මුම්බායි නුවර පැවති කලා උලෙළකදී ඇය ප්‍රකාශ කළේ තමන් මෑතකදී නැරඹු අසාර්ථකම චිත්‍රපටය ‘හැපි නිව් ඉයර්’ බවයි. එය ‘විකාරයක්’ යැයි ද ඇය කෙළින්ම කියා සිටියා. ඇගේ මේ ප්‍රකාශය ඒ චිත්‍රපටයට කළ අපහාසයක් බවයි සිනමා විචාරකයන් පැවසුවේ. ඇය සුපිරි නළු ශාරුක් ඛාන්ව ද විවේචනයට ලක් කළා.

” ‘හැපි නිව් ඉයර්’ චිත්‍රපටය වගේම එහි ප්‍රධාන නළුවාත් විකාරයක්. මම ඔය චිත්‍රපටය බැලුවේ මගේ පුතා අභිෂේක් එහි රඟපෑව නිසයි. මම අභිෂේක්ට කිව්වෙ, ඔයත් අර විදිහට කැමරාව ඉස්සරහ මෝඩයෙක් වගේ රඟපෑව නම් ඔයාටත් මහ ලොකු නළුවෙක් වෙන්න පුළුවන් කියලයි.” ජයා භච්චන් මෙලෙස ප්‍රකාශ කරද්දී උත්සව සභාවේ සිටි අය පුදුමයෙන් ඇය දෙස බලා සිටියා.

ඇගේ මේ ප්‍රකාශයෙන් වඩාත්ම අපහසුතාවයට පත්වුණේ සැමියා අමිතාබ්, පුතු අභිෂේක් සහ ලේලිය, ඓශ්වර්යායි. ජයාගේ මේ ප්‍රකාශය ප්‍රසිද්ධියට පත්වීමත් සමඟම නොසන්සුන් තත්ත්වයට පත්වූ බොලිවුඩ්පුරය දුටු අමිතාබ්, වහාම ශාරුක් අමතා තම බිරිඳගේ ප්‍රකාශය ගැන සමාව අයැද සිටියා. අභිෂේක් සහ ඓශ්වර්යා ද ශාරුක් ගෙන් සමාව ඇයැද සිටියේ ඔහුගේ නිවෙසට ගොස් මඳ වේලාවක් කතා බහ කරන අතරේදීයි.

ශාරුක් සහ භච්චන්ලා ගැන කාගේත් අවධානය එලෙස යොමු වී තිබෙද්දී තවත් අලුත් වැඩක් ගැන ආරංචියක් කොල්කටා නුවරින් අහන්න ලැබුණා. ඒ, ඉටි පිළිරූ කෞතුකාගාරයක් විවෘත කිරීමක් ගැනයි, එංගලන්තයේ පිහිටි සුප්‍රසිද්ධ ‘මැඩම් තුසේඩ්’ ඉටි පිළිරූ කෞතුකාගාරය වැනි කෞතුකාගාරයක් කොල්කටා හි පසුගිය 10 දා විවෘත කෙරුණා.

‘මැඩ් තුසේඩ් කෞතුකාගාරයෙහි මෙන් මෙහි තැන්පත් කෙරෙන්නේ ද ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ජීවමාන ස්වරූපයේ පිළිරූ රැසක්. තෙරේසා මව්තුමියගේ නමින් ‘මදර්ස් වැක්ස් මියුසියම්’ යනුවෙන් නම් කර ඇති මෙහි මුලින්ම නිරාවරණය වූයේ අමිතාබ් භච්චන්ගේ සහ ශාරුක් ඛාන්ගේ පිළිරූ දෙකක්.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.