2014-11-20

එංගලන්ත තරගාවලියේ සිට මහේලට උසස්‌වීමක්‌

එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය ඉලක්‌ක කරගනිමින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ආරම්භක පිතිකරු ලෙස මහේල ජයවර්ධනව යොදා ගැනීමට කණ්‌ඩායම් කළමණාකාරීත්වය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඉන්දියාව සමග පැවැති එක්‌දින තරගාවලි පරාජයට ප්‍රධාන සාධකයක්‌ වූ ආරම්භක පිතිකරු සබඳතාව කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කළමණාකාරීත්වය මේ වන විට අවධානය යොමු කොට තිබේ. ඒ අනූව තේරීම් කමිටුව, පුහුණුකරුවන්, නායකයා සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ පොදු එකඟතාව මත මහේල ජයවර්ධනව ආරම්භක පිතිකරු ලෙස යෙදවීමට තීරණය කර ඇතැයි විශ්වාසදායී ආරංචි මාර්ගවලින් 'දිවයින' ට වාර්තා වේ.

දිවයින ඉරිදා සංග්‍රහය සමග සාකච්ඡාවකට එක්‌ වෙමින් මහේල ජයවර්ධනද පවසා සිටියේ, 'කණ්‌ඩායමට මගේ උපරිමය ලබා ගන්නනම් මා ආරම්භක පිතිකරුවකු කළ යුතුයි. කොහොමත් ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කරන්න මම මහත් ආශාවෙන් බලා සිටිනවා.' යනුවෙනි.

ඒ අනූව තිලකරත්න ඩිල්ෂාන් සමග මහේල ජයවර්ධන ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට නියමිත අතර එම අත්හදා බැලීම ලබන 26 වැනිදා ආරම්භ වන එංගලන්ත තරගාවලියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. කෙසේ වෙතත් එංගලන්ත සංචාරයේ පළමු තරගයේ සිට මහේල ජයවර්ධනව ආරම්භක පිතිකරුවා ලෙස යොදවනවාද නැතහොත් තරගාවලිය මැද සිට මහේලව ආරම්භක පිතිකරු ලෙස යොදවනවාද යන්න මේ වන විටත් සාකච්ඡා මට්‌ටමේ පවතී.

"මහේලගේ හොඳම සාමාන්‍ය තියෙන්නෙ ආරම්භක පිතිකරුවකු ලෙස. ඒ නිසා ලෝක කුසලාන ඉලක්‌ක කරගෙන මහේලව එංගලන්ත සංචාරයේ සිට ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කරවනවා. ප්‍රශ්නය තියෙන්නෙ මහේලගේ අංක හතර ස්‌ථානයේ ක්‍රීඩා කරන්නෙ කවුද යන්නයි.' ක්‍රිකට්‌ කළමණාකාරීත්වයේ ප්‍රබල සාමාජිකයකු 'දිවයින' හමුවේ අදහස්‌ දක්‌වමින් පවසා සිටියේය.

මහේල ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කළ තරග 32 කදී ශතක හතරක්‌ සහ අර්ධ ශතක හතක්‌ වාර්තා කර ඇති අතර එහි සාමාන්‍ය 45.00 කට වැඩි අගයක්‌ පවතී. ඔහුගේ නිත්‍ය ස්‌ථානය වන අංක හතර ස්‌ථානයේ ක්‍රීඩා කරමින් මහේල ලබා ඇති සාමාන්‍ය 34.78 කි. මෙම දත්ත සලකා බලමින් සහ මහේලගේ වැඩි රුචිකත්වය ගැන අවබෝධ කරගනිමින් ඔහුට ආරම්භක පිතිකරු ස්‌ථානය ලබාදීමට නියමිතය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.