2011-12-22

උසස් පෙළ ප‍්‍රතිඵල ප‍්‍රමාදයට වගකිව යුත්තා ගැන ගැටලූවක්

උසස් පෙළ විභාග ප‍්‍රතිඵල ප‍්‍රමාද කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තා කවරෙක්දැයි රජය වහා ප‍්‍රකාශ කළ යුතු බව ගුරු සංගම් පවසනවා. ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා කියා සිටියේ ප‍්‍රතිඵල ප‍්‍රමාදවීම සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටින බවයි. ඒ අතරතුර ප‍්‍රතිඵල ප‍්‍රමාදය පිළිබඳ ප‍්‍රශ්න කරන ගුරු සංගම්වලටද විභාග කොමසාරිස්වරයා චෝදනා කරමින් සිටින බව ඔහු පෙන්වා දුන්නා. විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පළ කළ අදහසකට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා. විභාග කොමසාරිස්වරයා එහිදී ප‍්‍රකාශ කළේ ප‍්‍රතිඵල ප‍්‍රමාදය පිළිබඳ ගුරු සංගම්වල විරෝධය පිළිගත නොහැකි බවයි. මීට පෙර අවස්ථාවකදී උසස් පෙළ පිළිතුරු පත‍්‍ර ඇගයීම  වර්ජනය කරමින් සිසුන්ගේ අයිතීන් උල්ලංගණය කළ ගුරු සංගම් ප‍්‍රතිඵලවල දින කිහිපයක ප‍්‍රමාදය ගැන විරෝධය පළ කිරීම පුදුමයට කරුණක් බවද කොමසාරිස්වරයා පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් ගුරුවරුන්ගේ විරෝධය සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා මතු කරන අදහස් පිළිගත නොහැකි බවයි ජෝශෆ් ස්ටාලින් මහතා අවධාරණය කළේ. ඔහු කියා සිටියේ තමන් අත ඇති වරද වෙනත් පාර්ශ්ව වෙත පැටවීමට කොමසාරිස්වරයා උත්සාහ කරමින් සිටින බවයි. උසස් පෙළ සිසුන්ට සිප්සතර ලබාදුන් ගුරුවරුන් ඔවුන්ගේ ප‍්‍රතිඵල කෙරෙහි සැලකිලිමත් වීමේ වරද කුමක්දැයි ඔහු විමසා සිටියා. එකිනෙකා වෙත ඇඟිලි දිගු කරමින් වරද පටවා ගන්නා අධ්‍යාපන බලධාරීන් ප‍්‍රතිඵල ප‍්‍රමාදයට සැබෑ වගකිව යුත්තා කවරෙක්දැයි හෙළි කළ යුතු බවද ජෝශප් ස්ටාලින් මහතා පෙන්වා දුන්නා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.