2011-12-18

රවි සහ සජිත් එජාප නියෝජ්‍ය නායක සටනට

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා රවි කරුණානායක මහතාගේ නම යෝජනා කිරීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සූදානම් වනවා. කරු ජයසූරිය මහතා සමග නායකත්ව සටනට එක්වීමට ඔහු සූදානමින් සිටින බවයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

උපනායක ධුරය සඳහා ජෝශෆ් මයිකල් පෙරේරා මහතාද , සභාපති ධුරය සඳහාද ගාමිණි ජයවික‍්‍රම පෙරේරා  මහතාද, ජාතික සංවිධායක ධුරය සඳහා දයාසිරි ජයසේකර මහතාද යෝජනා කිරීමටයි පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර ඇත්තේ. කෙසේ වෙතත් කරු ජයසූරිය මහතාගේ පාර්ශ්වයෙන් මෙම තනතුරු සඳහා යෝජනා කරන මන්තී‍්‍රවරුන්ගේ නාමලේඛනය මෙතෙක් ප‍්‍රකාශයට පත්කර නැහැ. එහෙත් එම පාර්ශ්වයේ ආරංචි මාර්ග සඳහන් කළේ පක්ෂ නායකත්වය සඳහා කරු ජයසූරිය මහතාද , නියෝජ්‍ය නායක ධුරය සඳහා සජිත් පේ‍්‍රමදාස මහතාද , ජාතික සංවිධායක ධුරය සඳහා රංජිත් මද්දුමබණ්ඩාර මහතාද යෝජනා කිරීමට තීරණය කර ඇති බවයි. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද දහවල් 12.30 ට සිරිකොත මන්දිරයේදී ආරම්භ වනවා. 2012 වසර සඳහා නව නිලධාරීන් පත්කර ගැනීම සම්බන්ධයෙන් යෝජනා කැඳවීම එහිදී සිදුවන බවයි පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවසුවේ.


සම්මුතියකින් අදාළ තනතුරු සඳහා නිලධාරීන් පත්කර ගැනීමට අපේක්ෂා කළද එම තනතුරු සඳහා තරගයක් පවතින්නේ නම් ඊට වෙනත් දිනයක් යොදා ගන්නා බව ඔහු කියා සිටියා. තරගයක් පැවැත්වුණහොත් රහස් ඡන්ද විමසීමක් සිදු කිරීමටද නියමිතයි. හෙට හෝ අනිද්දා එම ඡුන්ද විමසීම පැවැත්වීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව වාර්තා වුණා.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.