2012-01-14

උසස් පෙළ ගැටලූවලට පිළිතුරුදීමට දුරකතන අංකයක් හඳුන්වා දෙන්න


අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල දෝෂ සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කමිටුවේ නිගමන සහ නිර්දේශ අද නිල වශයෙන් ප‍්‍රසිද්ධ කෙරුණා.  ඒ ජනාධිපති ලේකම් කාර්යාලය විසින්. ඊට අනුව දෝෂ සිදු වී ඇත්තේ දිස්ති‍්‍රක් කුසලතාව ගණනය කිරීමේ දී හෙවත් විභාග ප‍්‍රතිඵල ගණනය කිරීමේ අවසන් පියවරේදීයි.
ඒ අනුව එම දෝෂය දත්ත ඇතුළත් කිරීමේදී සිදු වූවක් නොවන බව අවධාරණය කර තිබෙනවා. කෙසේ වෙතත් කමිටුවේ වාර්තාව නිකුත් කිරීමට පෙර ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන් පැවසුවේ එකම දත්ත පුද්ගලයන් 3 දෙනෙකු විසින් වෙන් වෙන්ව ඇතුළත් කිරීම නිසා දෝෂ සිදුවූ බවයි.
මේ අතර දෝෂ සහිත ප‍්‍රතිඵල සංශෝධනය කිරීමෙන් පසු නිකුත් කරන ලද නව ප‍්‍රතිඵල නිවැරදි ඒවා බව කමිටුවේ වාර්තාව මගින් තහවුරු කර තිබෙනවා. ප‍්‍රතිඵල සම්බන්ධයෙන් ගැටලූ ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස මාධ්‍ය මගින් කළ ඉල්ලීමට අනුව ලැබුණු පැමිණිලිවලින් දෝෂ කිසිවක් සම්බන්ධයෙන් සාක්ෂි නොලැබුණු බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ. කෙසේ වෙතත් දෝෂ ඇතිවීමට හේතු මගහරවා ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ප‍්‍රමාණවත් පියවර ගෙන නොමැති බව කමිටුවේ නිරීක්ෂණය වී තිබෙනවා.
මින් ඉදිරියට විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සඳහා ක‍්‍රමයක් සකස් කිරීමේදී විද්වතුන්ගේ වඩා පුළුල් නියෝජනයකින් තොරතුරු ලබා ගැනීමට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව කටයුතු කළ යුතු බව කමිටුවේ නිර්දේශයක්.
විභාග ක‍්‍රමයේ පාරදෘෂ්‍යභාවය තහවුරු කිරීම සඳහා කාලීන තාක්ෂණ විගණන කි‍්‍රයාවලියක් ස්ථාපනය කිරීමටද අත්වැරදීම් නැවත නැවත සිදුවීම වළක්වාලීම සඳහා දැනට ඇති කාර්ය පටිපාටීන් සංශෝධනය කිරීමටද නිර්දේශ කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රතිඵල ඇගයීම සඳහා භාවිත කරන මෘදුකාංගය වැඩිදියුණු කිරීමටද නිර්දේශිතයි.
ප‍්‍රතිඵල දෝෂ සහිත වූ ඉකුත් උසස් පෙළ විභාගයේ තවමත් නොවිසඳුණු ගැටලූවලට පිළිතුරු සැපයීම සඳහා දුරකතන අංකයක් සහ විද්‍යුත් තැපැල් සේවාවක් ආරම්භ කිරීම කමිටුවේ තවත් නිර්දේශයක් වනවා. මෙම නිර්දේශ කි‍්‍රයාත්මක වන බවට තහවුරු කිරීම සඳහා කාලරාමුවක් සකස් කළ යුතු බවද කමිටු වාර්තාවේ සඳහන්. ඊට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන මහා භාණ්ඩාගාරය විසින් සපයා දිය යුතු බවද සඳහන්ව තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.