2012-05-15

හැටන් දික්ඔය නගරාධිපති මුල අමතක කරයිද?


ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන හැටන්-දික්ඔය නගර සභාවේ නගරාධිපති ඒ. නන්ද කුමාර් මහතා ලංකා කම්කරු කොංග්‍රසයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. හෙතෙම තම තීරණය සම්බන්ධයෙන් කම්කරු කොංග්‍රසයේ නායකත්වය දැනුවත් කිරීම සඳහා පක්ෂ මූලස්ථානය වෙත ලිපියක් යොමු කර ඇති බවද පක්ෂ ආරංචි මාර්ග පවසනවා.
පුද්ගලික හේතු මත තමා මෙම තීරණය ගත් බවත් එසේ වුවද තමා නගරාධිපතිවරයා ලෙස තේරී පත්වීමට ජනවරමක් ලබාදුන් ජනතාවට තවදුරටත් සේවය කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වීමට කටයුතු කළ බවත් නන්ද කුමාර් මහතා එම ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක මුත්තු ශිවලිංගම් මහතාගෙන් කළ විමසීමකදී  ඔහු කියා සිටියේ නන්ද කුමාර් මහතා තම පක්ෂයේ දේශපාලන කටයුතු හොඳින් ඉටුකරමින් සිටි බවත් හදිසියේම ඉවත්වීමට තීරණය කිරීම කනගාටුදායක කරුණක් බවත්ය. එසේ වුවද ඉල්ලා අස්වීමේ ලිපිය තමන් විසින් භාරගත් බවද මුත්තු ශිවලිංගම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ හැටන්-දික්ඔය නගර සභාවට තරගවැදුණු ඒ. නන්ද කුමාර් මහතා වැඩිම මනාප ලබාගනිමින් නගරාධිපතිවරයා ලෙස තේරීපත්වුණා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.