2012-09-19

මාලක මට ගැහුවෙ නැහැ - බුද්ධි අංශ මේජර් අධිකරණයට කියයි


මාලක සිල්වා හෝ රෙහාන් විජේරත්න යන මහත්වරුන් තමන්ට පහර නොදුන් බව මේජර් චන්දන ප‍්‍රදීප් මහතා පවසනවා. කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධීකරණය වෙත මෝසමක් ඉදිරිපත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ මාලක සිල්වා සහ රෙහාන් විජේරත්න යන මහත්වරුන්ට නගා තිබෙන නඩුව පවත්වාගෙන යාම ද අවශ්‍ය නොවන බවයි. නඩුව සමථ කිරීමට එකඟතාව පළ කරන බව ද මෝසමේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඒ බව සැලකිල්ලට ගත් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය පැවසුවේ මීළඟ නඩු දිනය වන ලබන සඳුදාට පෙර අවශ්‍ය නම් නඩුව නැවත කැඳවීමට හැකියාව තිබෙන බවයි. එහෙත් එසේ කිරීමට නම් කොළඹ අපරාධ කොට්ඨාශයට ප‍්‍රායෝගික අපහසුවක් නොතිබිය යුතු බව ද ප‍්‍රකාශ කෙරුණා. ඒ නිසා  ඉදිරිපත් කළ මෝසම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයට ද දැනුම් දී නඩුව කලින් කැඳවීමට ඔවුන් එකඟ කර ගන්නා ලෙසයි  මේජර් චන්දන ප‍්‍රදීප් මහතාගේ නීතිඥවරයාට නියෝග කෙරුණේ. නඩුව නැවත කැඳවන දිනයේදී මේජර් චන්දන ප‍්‍රදීප් මහතාද අධිකරණයේ පෙනී සිටිය යුතු බව ද වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.
පසුගිය 9 දින කොම්පඤ්ඤවීදිය ජායික් හිල්ටන් හෝටලයේදී මාලක සිල්වා සහ රෙහාන් ධනුෂ්ක විජේරත්න ඇතුළු පිරිසක් තමන්ට පහරදුන් බව පවසමින් හමුදා මේජර්වරයා කොම්පඤ්ඤවීදිය පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා.
එම පහරකෑමෙන් තුවාල ලැබු මේජර් චන්දන ප‍්‍රදීප් මහතා නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. චෝදනා ලැබ සිටින මාලක සිල්වා මහතා අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ එකම පුතුණුවන්. රෙහාන් විජේරත්න මහතා හිටපු අමාත්‍යවරයෙකු වන  මනෝ විජේරත්න මහතාගේ ඥාති පුතණුවන් වනවා.
පැමිණිල්ලට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මාලක සිල්වා සහ රෙහාන් විජේරත්න ඇතුළු සැකකරුවන් ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන 24 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මෙම හමුදා මේජර්වරයා එස්.ඒ. කොතලාවල නමැති සාම විනිසුරුවරයකු මාර්ගයෙන් දිවුරුම් සහතිකයක් සකස් කර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් තමන්ට පිරිසක්  පහරදුන් අතර මාලක සිල්වා සහ රෙහාන් විජේරත්න යන අය එම අවස්ථාවේ එම ස්ථානයේ සිටි නමුත් ඔවුන් තමන්ට පහර නොදුන් බවත් තමාගේ නැති වූ රන් මාලය නිවසේ තිබී හමු වූ බවත් එම නිසා මෙම පැමිණිල්ල සමතයකට පත් කර ගැනීමට දෙපාර්ශ්වයම කටයුතු කරමින් සිටින හෙයින් මේ පිළිබඳ ඉදිරියට කටයුතු කිරීමට බලාපොරොත්තු නොවන බවත් දක්වි තිබිණි. මේජර්වරයා වෙනුවෙන් පෙනී දිවුරුම් සහතිකය අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ නීතිඥ දිනේෂ් දොඩංගොඩ මහතායි. මේ නඩුව සැප්තැම්බර් 20 වැනිදා නැවත කැඳවන ලෙස ඉල්ලා සිටී නමුත් එය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර 24 වැනි දින මේජර්වරයා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට හමුදා රෝහලේ අණදෙන නිලධාරියා මගින් නොතීසි නිකුත් කෙරුණා. 


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.