2012-11-21

අඛණ්ඩව ඇද හැලුණු වැස්ස නිසා මාතර හා හම්බන්තොට මාර්ග රැසක් ජලයෙන් යටවේ


මාතර සහ හම්බන්තොට යන දිස්ත‍්‍රික්කවලට ඊයේ සවස ඇදහැලූණු මහා වැසි හේතුවෙන් පහත් බිම් ජලයෙන් යටවී තිබෙනවා. මෙම වර්ෂාව පැය කිහිපයක් තිස්සේ අඛණ්ඩව පැතුණු බවද ප්‍රදේශවාසීන් පවසනවා. නෝනාගම, ලුණුම, හුංගම, අම්බලන්තොට, කිවුල, හාතගල, අඟුණකොළපැලැස්ස ආදී ප්‍රදේශ රැසකට වැසි ඇද වැටී තිබෙනවා. මෙම වැස්සත් සමග ඇති වූ ජල ගැලීම් හේතුවෙන් වී මෝල් දෙකක්ද ජලයෙන් යට වී ඇති බව වාර්තා වනවා. එසේම තංගල්ල - අම්බලන්තොට මාර්ගයේ හුංගම ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගය අඩි දෙකක් පමණ ජලයෙන් යට වී ඇති බවද වාර්තා වනවා. 
මේ අතර මාතරට ඇදහැළුණු මහ වැසි නිසා මුලටියන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාකඳුර හා රංචගොඩ යන ප‍්‍රදේශවල නිවාස 13ක් ජලයෙන් යටවී තිබෙනවා. දෙයියන්දර - මාකඳුර මාර්ගයේ ගමනාගමනයද අවහිර වී තිබෙන බවයි නෙත් නිවුස් මාතර වාර්තාකරු අරුණ කැළුම් බෝධිමාන්න පැවසුවේ. 
සෙවණගල සහ බලංගොඩ යන ප‍්‍රදේශවලටද ඊයේ සවස මහවැසි ඇදහැළුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ උදෑසන 8.30 සිට අද අලූයම 4.30 දක්වා පැය 20 දී සෙවණගලින් වාර්තා වන වර්ෂාපතනය මිලිමීටර් 80ක්. බලංගොඩින් මිලිමීටර් 48ක වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා. 
කෙසේ වෙතත් රටපුරා ප‍්‍රදේශ බොහෝමයකට අද අපේක්ෂා කරන්නේ වැසි නොමැති කාලගුණයක් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. සබරගමුව මධ්‍යම සහ ඌව යන පළාත්වල ඇතැම් ප‍්‍රදේශවලට පමණක් අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජිවන් කරුණාරත්න මහතා පැවසුවා.




No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.