2013-10-18

පොදු රාජ්‍ය මණ්ඩලයට මුවාවී රජය රටේ ප්‍රශ්න මග හරිනවා - ගයන්ත

ආශ්චර්යයේ සිහිනයක සිරකළාක් මෙන් මේ වන විට ජනතාව පොදු රාජ්‍ය මණ්ඩල සිහිනයේ සිරකර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. එසේම පොදුරාජ්‍ය මණ්ඩලය පෙන්වා ආණ්ඩුව විසින් මෙරටේ පවතින ප්‍රශ්න යට ගසමින් සිටින බවද ඒ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා.
තවද ආණ්ඩුව දවල් මිගෙල් රෑ ඩැනියල් ප්‍රතිපත්තිය අනුගමනය කරමින් සිටින බවත්, මෙය සුභ අනාගතයකය යන ගමනක් නොවන බවත් හෙතෙම කීවේය. මේ වන විට බඩු මිල කියන ගොනා බැද දමා ඇති බවත්, පොදු රාජ්‍ය මණ්ඩලය අවසාන වූ වහාම එම ගොනා ලිහා දමන බවත් ඔහු පැවසීය.
මතට තිත තබන බව පවසා අසියාවේ ලොකුම මත්කුඩු තොගය ලංකාවෙන් හමු වූ බවත්, මේ වන විට මෙරටේ නා‍යකයෝ පවසන්නේ රටේ සිටින ජනතාවට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත්ය යන වග ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කර සිටියේය.
එසේම බෝඩ් ලෑලි වලට සීමා වූ ඇමති අයියලා නඩත්තු කිරීමට මෙරටේ සිටින දුප්පත් ජනතාවට සිදු වී ඇති බවත්, කට්ටිය සතුටු කිරීම සඳහා නියෝජ්‍ය ඇමතිකම් පසුගිය දිනක ලබා දුන් බවත් හෙතෙම සඳහන් කළේය.
ජනතාවගේ ප්‍රශ්න අමතක කරන ආණ්ඩුවක් මෙතෙක් බිහි නොවී ඇති බවද ගයන්ත කරුණාතිලක මහතා කියා සිටියේය. තවද මේ වන විට ආණ්ඩුව ඇතුළේම ප්‍රශ්න උද්ගත වී ඇති බවත්, එම ප්‍රශ්න මේ වන විට පළාත් සභා මට්ටමින් එළියට එමින් පවතින බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.