2013-10-22

මාතර එජාප ගැටුම : හිටපු ඇමැති සහ සුදත් ඇතුළු 56කට ඇප

විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය පළකරමින් මාතර නගරයේ පැවති පාගමනට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි සැකකරුවන් 51 දෙනා සහ පොලිසියට භාර වූ හිටපු ඇමැති සුරනිමල රාජපක්‍ෂ මහතා ඇතුළු 5 දෙනා ඊයේ (21 වැනිදා) රුපියල් ලක්‍ෂය බැගින්වූ ශරීර ඇප මත මුදාහරින ලෙස මාතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා නියෝග කළේය.
මාතර පැවති පාගමනට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ආධාරකරුවන් 51 දෙනෙක්‌ වරින් වර මාතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටියහ.
එම 51 දෙනා වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවද අවලංගු කිරීමට මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කර ඇත.
පසුව ඔවුන් බන්ධනාගාර ගත කරන ලදී. මෙම නඩුව ඊයේ කැඳවූ අවස්‌ථාවේ සැකකරුවන් සියලු දෙනාට ඇප නියම කළ මහෙස්‌ත්‍රාත්වරයා ඔවුන්ට අවවාද කර මුදාහැර තිබේ. ඊට අමතරව එම සැකකරුවන් සියලු දෙනා සෑම ඉරිදා දිනයකම මාතර මූලස්‌ථාන පොලිසියේ පෙනී සිටීමටද මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
මේ අතර විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය පළ කරමින් මාතර පැවති පාගමනට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමැති සුරනිමල රාජපක්‍ෂ මහතා ඇතුළු සැකකරුවන් පස්‌දෙනා රුපියල් ලක්‍ෂය බැගින් වූ ඇප මත මුදා හරිමින් නොවැම්බර් 25 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද මාතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන් සිසිර කුමාර මහතා විසින් නියෝග කරනු ලැබීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැති සුරනිමල රාජපක්‍ෂ, විපක්‍ෂ නායකවරයාගේ පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර, කළුතර එ. ජා. ප. සංවිධායක ලක්‍ෂමන් විඡේමාන්න, බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය, සබරගමුව පළාත් සභා මන්ත්‍රී සන්දීප් සමරසිංහ යන අය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්‌ත්‍රාත්වරයා පසුගියදා නියෝග කර තිබිණි.
මෙම සැකකරුවන් ඉකුත් 17 වැනිදා (බ්‍රහස්‌පතින්දා) මාතර අධිකරණය වෙත භාරවන බව මාතර පොලිසිය වෙත දැනුම් දී තිබුණද එදින භාරවූයේ නැත. සැකකරුවන් නීතිඥවරුන් මාර්ගයෙන් මාතර මූලස්‌ථාන පොලිසිය වෙත ඊයේ පෙරවරුවේ භාරවූ අතර පසුව ඔවුන් අත්අඩංගුවට ගන්නා ලදී. සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඔවුන් මාතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී.

උපුටා ගැනීම - දිවයින පුවත්පත

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.