2014-11-15

පොදු අපේක්ෂකයා මෛත්‍රිපාලද

විපක්‍ෂයේ ජනාධිපති පොදු අපේක්‍ෂකයා වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් වන තමාට ආරාධනා කරන්නේ ඇයි දැයි අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා මාධ්‍යවේදීන්ගෙන් ඊයේ (13දා)
ප්‍රශ්න කළේය. කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ල.නි.ප. මූලස්ථානයේ ඊයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවේදී විපක්‍ෂ ජනාධිපති පොදු අපේක්‍ෂකයා වීමට ඇමැතිවරයාට ආරාධනාවක් ලැබී ඇත්දැයි සිරිසේන මහතාගෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ ඔහු ඊට එක එල්ලේ පිළිතුරු නොදී මාධ්‍යවේදීන්ගෙන් ඉහත ප්‍රශ්න විමසුවේය.
තමන් පොදු අපේක්‍ෂකයා වීමට යන බව හා තමන්ට අගමැති ධුරය ලැබෙන බවට පළවන කතාබහ සමාජයේ කතා වෙන දෙයක් මිස තමන්ගේ ඊට සම්බන්ධයක් නොමැති බවත්, තමන්ට ජනාධිපති වීමට සිහිනයක් නොමැති බවත් ඇමැති සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍ය සිරිසේන මහතා මාධ්‍ය හමුවේදී මෙසේද කීවේය.
මේ රටේ උපාධිධාරීන් විරැකියාවෙන් පෙළුණු යුගය නිමා වෙලා. උගතුන්ට රැකියා තියෙනවා. රටේ විවිධ ක්‍ෂේත්‍රවල සිදුවන සංවර්ධනයට මේ රජය තරම් මුදල් දුන් රජයක් තවත් නැහැ. උතුරේ යුද්ධය ජයගත්තාට පසු එයට වියදම් කළ මුදල් ඉතිරි වෙන්නේ නැද්ද කියා විපක්‍ෂය ප්‍රශ්න කළා. ඒ මුදල් තමා සංවර්ධනයට යොදන්නේ. ආණ්ඩුව මේ වන විට මීළඟ ජාතික මැතිවරණයට සූදානම් වී තිබෙනවා. නමුත් විපක්‍ෂයේ එවැනි කිසිම සූදානමක් නැහැ.

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා
මීළඟ ජනාධිපතිවරයා ලෙස රටේ නායකත්වයට පත්විය යුත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා බවට මේ රටේ ජනතාව නැවැතත් පිළිගන්නා බව මට විශ්වාසයි. දේශීය හා අන්තර්ජාතික අභියෝගවලට මුහුණදීමට හොඳම විසඳුම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා නැවැත ජනාධිපති කිරීමයි. ඔහුට අභියෝගයක් විය හැකි කිසිදු නායකයකු නැහැ.
එ.ජා.ප.ය වටා සෑම විටම එක්වී සිටින්නේ ධනපති පන්තිය හා බටහිර බලවේගයි. ඔවුන් මේ රටේ ජාතිකත්වයට විරුද්ධ බලවේගයි. මේ රටේ ජනතාවගේ අපේක්‍ෂාවන් ඉටු වූ කාලය හැටියට 2005-2014 කාලය සලකන්න පුළුවන්. මෙවර මේ ජනතා හඬ ප්‍රබලව ප්‍රකාශ වෙනවා. කවුරු පොදු අපේක්‍ෂකයා වුවත් ඒ එන කෙනා එ.ජා.ප.යේ දේශපාලන බලය පාවිච්චි කරනවා. අපට මේ තරගයේදී අපේ පැත්ත තීරණය කරන්න වෙනවා. ඒ අනුව අපි එ.ජ.නි. සන්ධානය තෝරා ගන්නවා.

මාධ්‍ය - ජනාධිපතිවරයාට එරෙහිව ජාත්‍යන්තර බලවේග ක්‍රියාත්මක වෙනවා නම් ඇයි ඔහුම නැවැතත් ජනාධිපති වෙන්න හදන්නේ?
ඇමැති සිරිසේන - ජනතාව තමයි තීන්දු කරන්නේ. ජනතාව කැමැති නම් මේ ජනාධිපතිවරයාවම පත් කරගත හැකියි. ජනතාවගේ ප්‍රබල සහාය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට තිබ්බොත් ජාත්‍යන්තර බලවේගවල කට වහන්න පුළුවන්.
මාධ්‍ය - එ.ජා.ප.යට ධනවත් අය උදව් කරනවා කිව්වා. ඇයි සන්ධානය වටා ධනපතියො නැද්ද?
ඇමැති වාසුදේව නානායක්කාර මහතා - ඉන්නවා. එහෙත් ධනපති පන්තියේ වැඩි සහාය එ.ජා.ප.යටයි.

මාධ්‍ය - ඒ අය සහාය දුන්නට ජනතා මතය වෙනස් කරන්න පුළුවන්ද?
ඇමැති වාසුදේව මහතා - බැහැ. නමුත් ඔවුන්ට මේ රටේ ආර්ථික බලයක් තියෙනවා. ඒ හරහා ඔවුන් මේ රටේ එක්තරා පන්තියකට බලපෑම් කරනවා. ධනපති පන්තිය නිතරම ප්‍රාර්ථනා කරන්නේ එ.ජා.ප. බලයේ රැඳීමයි.
මාධ්‍ය - ශ්‍රී ල.නි.ප.යේ ඇමැතිවරුන් කලකිරී සිටිනවා යැයි විවිධ මත පළ වෙනවා. මේක ඇත්තක්ද?
ඇමැති සිරිසේන මහතා - මම දන්න විදියට කවුරුත් කලකිරී නැහැ.

මාධ්‍ය - පසුගිය දවස්වල සිරිසේන ඇමැතිතුමා කිව්වා පොළොන්නරුවේ ජනතාව ඕනෑම වෙලාවක තමන්ගේ බලය පෙන්නන්න ලෑස්තියි කියලා. කාටද මේ බලය පෙන්නන්නේ?
ඇමැති සිරිසේන මහතා - ඒක දිග කතාවක කොටසක් පමණයි. විද්‍යුත් මාධ්‍ය බොහෝ විට එවැනි කොටස් විතරයි ප්‍රචාරය කරන්නේ.

මාධ්‍ය - ඔබව අගමැති ධුරයට පත් කරනවා කියලත් කතා වෙනවා?
ඇමැතිවරයා - ඔය ඔක්කොම සමාජයේ වෙන කතානේ.

මාධ්‍ය - මංගල සමරවීර මන්ත්‍රිවරයා ශ්‍රී ල.නි.ප.යට එනව කියල පසුගිය දවස්වල ප්‍රචාරය වුණා?
ඇමැති සිරිසේන මහතා - ඕන කෙනකුට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එන්න පුළුවන්. පුද්ගලයා අපට ප්‍රශ්නයක් නොවේ.

මාධ්‍ය - මංගල සමරවීර මන්ත්‍රිවරයා නැවැත රජයට සම්බන්ධ වෙන්න යන බව ඔබ දැනගෙන සිටියද?
ඇමැති සිරිසේන - මා දැන සිටියේ නැහැ. යන එන එක අපේ රටේ එතරම් බරපතළ ප්‍රශ්නයක් නොවේ.

මාධ්‍ය - පොදු අපේක්‍ෂකයා හැටියට ඉදිරිපත් වෙන ලෙස ඔබට ආරාධනාවක් ලැබුණද?
ඇමැතිවරයා - මට...? ඒ මොකටද? මම මොකටද ආණ්ඩුවේ ඉඳල විපක්‍ෂයට යන්නේ. විපක්‍ෂයටත් ඕන ආණ්ඩුවට එන්න නේ. ඕව ඉතින් සමාජය තුළ සිදුවන කතාබහනේ. මට ආරාධනා කරනවද විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වෙන්න.
Source - Mawbima news paper

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.