2014-12-27

"මමයි බබයි මල්ලිලයි යටවෙලා ඉන්නේ. ඉක්මනට බේරාගන්න"

නායයාමෙන් යට වූ හෙදියගෙන් ඇමතුමක්


‘මමයි, බබයි, මල්ලිලා දෙන්නයි යට වෙලා ඉන්නේ. ඉක්මනට අපිව බේරගන්න’යැයි බදුල්ල රිල්පොල මොරගොල්ලකන්ද නාය යාමෙන් අතුරුදහන් වූ බදුල්ල රෝහලේ හෙද නිලධාරිනි ආර්. එම්. සිතාරා මහත්මිය ඊයේ (26* උදෑසන ස්වාමිපුරුෂයාට, හෙද පාලකවරයාට සහ ඇයගේ මිතුරියන්ට දුරකථන ඇමතුම් ලබා දී ඉල්ලා සිට ඇත.

ඊයේ උදෑසන සිදු වූ මෙම නායයාමෙන් රිල්පොල, අක්කර 53, ප‍්‍රදේශයේ පුද්ගලයින් තිදෙනකු මියගොස් නව දෙනෙකු අතුරුදහන්ව ඇති බව බදුල්ල පොලිසිය පවසයි.

ඊයේ උදෑසන 6 ට සහ 8 ට පමණ කන්ද නායගොස් ඇති අතර නිවාස පහක් නායයාමට හසුව සම්පූර්ණයෙන් විනාශ වී ඇත. කන්ද පාමුල පිහිටි තවත් නිවාස කිහිපයකට අර්ධ හානි සිදුව ඇත. ඊයේ පස්වරුවේ මෙම ස්ථානය යළි නායයාමත් සමග තවත් නිවාස කිහිපයට හානි සිදුව තිබේ. අක්කර 5ක පමණ ප‍්‍රමාණයක් නායගොස් තිබේ.

මෙම නායයාමෙන් අතුරුදහන් වූ ආර්. එම්. සිතාරා හෙද නිලධාරිනිය හෙද පාලකවරයාට දුරකථන ඇමතුම දීමෙන් පසු 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගිලන් රථයකින් එම ස්ථානයට ගිය බව බදුල්ල රෝහලේ හෙද නිලධාරිනියක් රිවිරට පැවසුවාය. ඇයගේ නිවසේ මිදුලේ ගස්ලබු ගසක් තිබෙන අතර එම සළකුණු ඔස්සේ එ් ආසන්නයට එම පිරිස ගොස් ඇති අතර පස් කඩා ගෙන වැටීම හේතුවෙන් ඇයගේ නිවස පිහිටි ස්ථානයට යාමට නොහැකි වීම නිසා ඔවුන් ආපසු හැරී පැමිණ ඇත. මෙම නායයාමෙන් පැය කිහිපයක් යන තුරු ඇයගේ ජංගම දුරකතනය නාද වුව ද ඇය ඊට පිළිතුරු සපයා නැත. පස්වරු 1 පමණ වන විට ඇයගේ එම දුරකථනය ක‍්‍රියා විරහිත වී තිබිණ.

බදුල්ල රෝහලට සිය පළමු පත්වීම ලබා පැමිණි ආර්. එම්. සිතාරා හෙද නිලධාරිනිය නායයාම සිදුවන අවස්ථාවේ සිය මවගේ නිවසේ සිට තිබේ. ඇයගේ ස්වාමිපුරුෂයා වන රෝහණ, ඖෂදවේදියකු වන අතර ඔහු ඔහුගේ නිවසට ගොස් සිට තිබේ. මෙම නායයාම පිළිබඳව ආරංචි වීමෙන් හෙද නිලධාරිනියගේ ස්වාමිපුරුෂයාගේ මවට පපුවේ අමාරුවක් සෑදී ඇති අතර ඔහු සිය මව රෝහලට ඇතුළත් කිරීමට පැමිණ කම්පනයෙන් යුතුව පැය කිහිපයක් රෝහල් භූමියේ හැසිරී තිබේ. ඔහුගේ මව ද සිතාරා ඉවරයි යැයි කෑ ගසමින් බාහිර රෝගි අංශයේ සිටි හෙද නිලධාරිනියන්ට ඇයගේ වාවාගත නොහැකි දුක ප‍්‍රකාශ කර තිබේ. 

මෙම සිද්ධිය වාර්තාවීමත් සමග හමුදාව අදාළ හෙද නිලධාරිනිය ඇතුළු අතුරුදන් වූ පිරිස සොයා මෙහෙයුම් ආරම්භ කළ බව මධ්‍යම පළාත භාර ආඥපති මේජර් ජනරාල් මනෝ පෙරේරා මහතා පැවසීය. බදුල්ල පොලිසිය බැකෝ යන්ත‍්‍රයක් යොදා ගනිමින් එම නිවස අසල පස් ඉවත් කිරීමට ක‍්‍රියා කළ ද පවතින අනතුරුදායක තත්ත්වය හේතුවෙන් එය ද අත්හැර දැමීමට සිදු විය.

නායයාමට හසුව මිය ගිය පුද්ගලයින් තිදෙනෙකුගේ මළසිරුරු ඊයේ සවස් වන විට සොයාගෙන තිබූ අතර ඉන් එක් මළ සිරුරක් කාන්තාවකගේ බවට හඳුනාගෙන තිබේ.

මෙම ස්ථානයේ නායයාම් තත්ත්වය තවදුරටත් ඇති විය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අනතුරු අගවා ඇති අතර විපතට පත් පිරිස් ඥති නිවෙස් වල රැදී සිටීති.

අතුරුදහන්වූවන් සොයා ප‍්‍රදේශවාසින් සහ පොලිසිය එක්ව මෙහෙයුම් සිදු කළ අතර ඊයේ පස්වරුව වන විට අනතුරුදායක  තත්ත්වය හේතුවෙන් මෙහෙයුම් නතර කෙරිණි.



No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.