2022-07-25

මාරක රිය අනතුරු දෙකක් - දෙදෙනෙක් මරුට

 


වත්තේගම සහ රුවන්වැල්ල යන පොලිස් බලප්‍රදේශයන්හි සිදු වූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. 

පොලිසිය කියා සිටියේ වත්තේගම, මැණික්හින්න මාර්ගයේ කෙරමිණිය ආයුර්වේද බෙහෙත් ශාලාව අසලදී මැණික්හින්න දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ ගමන් කළ පුද්ගලයකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බවයි. 

අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා මැණික්හින්න රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ. 

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 82ක් පමණ වූ මැණික්හින්න වලල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

මෘතදේහය මැණික්හින්න රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

වත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 

මේ අතර අවිස්සාවේල්ල - කෑගල්ල මාර්ගයේ රුවන්වැල්ල, මත්තමගොඩ ප්‍රදේශයේදී කෑගල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසනවා. 

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු සහ පසු පැදිකරු කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. 

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 42ක් පමණ වූ කොටියාකුඹුර, මත්තමගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

මෘතදේහය කරවනැල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර රුවන්වැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.