2012-01-23

එක්දින සංකේත වර්ජනයක්

යෝජිත වැටුප් වැඩිවීම තවදුරටත් වැඩිකර ගැනීම සඳහා ආණ්ඩුවට බලකිරීමට එක්දින සංකේත වැඩ වර්ජනයක යෙදීමට ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති සූදානම් වනවා. එම වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරුවෙකු වන රංජන් ජයලාල් මහතා පැවසුවේ ඊට අදාළ වැදගත් සාකච්ඡාවක් අද සිදුකෙරෙන බවයි. ආණ්ඩුව මුලින් යෝජනා කළේ ලංකා විදුලිබල මණ්ඩලය මෙන්ම
ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේද සියළු සේවකයන්ට මූලික වැටුපෙන් සියයට 18 ක වැටුප් වැඩිවීමක් ලබාදීමටයි. ඊට අමතරව කාර්යය සාධනය මත තවත් සියයට 05 ක වැටුප් වැඩිවීමක් සහ රුපියල් 2500ක අනිවාර්යය මාසික දීමනාවක් ලබාදීමට ද යෝජනා කෙරුණා. ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ඊට එකඟ වූවත් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ඊට එකඟ වූයේ නැහැ. එම වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවකින් පසු මුලින් යෝජනා කළ වැටුප් වැඩිවීම සංශෝධනය කිරීමට ආණ්ඩුව එකඟ වුණා. ඒ අනුව, සියළු සේවකයන්ට මූලික වැටුපෙන් සියයට 25 ක වැටුප් වැඩිවීමක් ලබාදීමටයි තීරණය වුණේ. එලෙස කෙරුණු සංශෝධනය නිසා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් අසාධාරණයකට ලක්වූ බව නෙත් ප‍්‍රවෘත්ති ඉකුත්දා පෙන්වා දුන්නා. සංශෝධනයෙන් පසු ලැබීමට නියමිත වැටුප් වැඩිවීම මුලින් යෝජිත වැටුප් වැඩිවීමට වඩා කැපී පෙනෙන ලෙස අඩු වී තිබීම ඊට හේතුවයි.