2012-01-23

ළමයින් ප‍්‍රමාණය සීමා කෙරේ


පාසල් සේවා වෑන් රථවල රැගෙන යා හැකි ළමයින් සංඛාව සීමා කිරීමට එම වෑන් රථ හිමියන් සහ පොලීසිය එකඟ වී තිබෙනවා. ඊයේ පැවැත්වූ සාකච්ඡාවක දී එලෙස එකඟතාවක් ඇතිකර ගත් බවයි පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ. ඒ අනුව, පාසල් සේවා වෑන් රථයක රැගෙන යා හැක්කේ ආසන සංඛ්‍යාවට ගැළපෙන ළමයින් සංඛ්‍යාවක් පමණක් බව අවධාරනය කෙරුණා.

ඇතැම් මාධ්‍ය අද වාර්තා කර තිබෙන්නේ පාසල් ළමයින් රැගෙන යන ත‍්‍රීරෝද රථවලට ද සීමා පනවා ඇති බවයි. ඒ අනුව, ත‍්‍රීරෝද රථයක රැගෙන යා හැක්කේ උපරිම වශයෙන් පාසල් ළමයින් තුන්දෙනෙකු පමණක් බව ද එම මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එහෙත්, එවැනි සීමාවක් සම්බන්ධයෙන් තවමත් එකඟතාවක් හෝ නීතියක් නොමැති බවයි පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ.
මේ අතර පාසල් සේවා වෑන් සහ බස් රථ ලියාපදිංචි කිරීම තවදුරටත් සිදුකෙරෙන බව ජාතික ළමාරක්ෂන අධිකාරිය පවසනවා.
පාසල් සේවා වෑන් රථ සහ බස් රථ පොලීසිය විසින් ද ලියාපදිංචි කෙරෙනවා. එලෙස ලියාපදිංචි කරන වෑන් සහ බස් රථ  සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් කඩිනමින් සපයන ලෙසයි කොළඹ රථවාහන පොලිස් මූලස්ථානයට රටපුරා සියළු පොලිස් මූලස්ථාවලට ඉකුත් දා දැනුම් දුන්නේ.