2012-01-31

IMF ණයේ තුන්වැනි වාරිකය අහිමි වීමට හේතුව මෙන්න


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීලඟ ණය වාරිකය මෙරටට අහිමි වන්නේ එම අරමුදලේ කොන්දේසිවලට මෙරට මූල්‍ය බලධාරීන් එකඟ නොවීම හේතුවෙන් බව වාර්තා වනවා. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා මහ බැංකුව ඊයේ ප‍්‍රකාශ කලේ වෙනත් ගැටළුවක් මත තමන් මෙම ණය වාරිකය ලබා නොගැනෙනු ඇති බවයි. ඩොලර් බිලියන 2 යි දශම හයක් වූ සමස්ථ ණය වාරිකයෙන් බිලියන 1.7ක ණය ප‍්‍රමාණයක් මේ වන විට ලබාගෙන තිබෙනවා.
එය පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මෙරට වෙනුවෙන් නිකුත් කළ හැකි ණය කෝටාවෙන් තුන් ගුණයකට අඩු අගයකයි. එවැනි තත්වයකදී ශී‍්‍ර ලංකාව ගෙවිය යුතු පොලිය සියයට එකයි දශම එකක්. එහෙත් ඉතිරි ඩොලර් මිලියන අටසියයක ණය ප‍්‍රමාණය ලබාගතහොත් එය ණය කෝටාවේ තුන් ගුණය අගය ඉක්මවනවා. එහිදී එම මුදල සඳහා අතිරේක සියයට දෙකක පොලියක් ගෙවිය යුතුයි. එබැවින් මෙම ණය වාරිකය ලබා නොගැනෙනු ඇති බවයි මහ බැංකුව ප‍්‍රකාශ කළේ.
කෙසේ වෙතත් ආර්ථික විශ්ලේෂක අසන්ත සිරිමාන්න මහතා පෙන්වා දෙන්නේ මෙය සැබෑ තත්වයම නොවන බවයි. කොන්දේසි ඉටු නොකිරීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය වාරික නිකුත් කිරීම අත්හිටුවා ඇත්තේ මාස කිහිපයක සිට බවයි ඔහු සිහිපත් කළේ.