2012-02-23

ශවේන්ද්‍ර නොතකා හැරලා


ජගත් සංවිධානයේ සාමසාධක කටයුතු පිළිබඳ මහලේකම්වරයාගේ උපදේශක කමිටුවට මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහභාගිත්වය වළක්වා තිබෙනවා. එම කමිටුවේ සභාපති ලූවිස් ෆ්‍රෙචට් මහත්මිය මෙම කමිටුවට සිල්වා මහතා සහභාගි වීම අනවශ්‍ය බව ඔහුට දන්වා ඇතැයි ප‍්‍රංශ පුවත් සේවය පැවසුවා.
ඒ සභාපතිවරිය විසින් නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින්. කෙසේ වෙතත් ඊයේ දිනයේ පැවැති මෙම කමිටුවේ පළමු රැස්වීමට ශවේන්ද්‍ර සිල්වා මහතා සහභාගි වී තිබෙනවා. එහෙත් කමිටුවේ වෙනත් කිසිවෙකු ඔහු සමග කතාබහක නිරතවීමක් හෝ කමිටුවේ කටයුතුවලට අදාළ ලේඛන ලබාදීමක් සිදුකර නැහැ. යුද අපරාධ චෝදනාවන්ට ලක් වූවෙකු බව පවසමින් මානව හිමිකම් සංවිධාන රැසක් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පත්වීම පසුගිය කාලසීමාව තුළ අභියෝගයට ලක් කළා.
මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම උපදේශක කමිටුව නම් කෙරුණේ ආසියා පැසිෆික් කලාපීය නියෝජිතයා ලෙසින්. එම රටවල නියෝජිතයින් සියල්ලන්ගේ එකඟතාව මත එම පත් කිරීම සිදු කර තිබුණා. ජගත් මහලේකම් බැන් කී මූන් මහතාගේ මාධ්‍ය ප‍්‍රකාශක මාර්ටින් නෙසර්කි විරෝධතා හමුවේ ප‍්‍රකාශ කර තිබුණේ මීට එරෙහිව මහලේකම්වරයාට හෝ ක‍්‍රියා කළ නොහැකි බවයි.
ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම කමිටුවට සහභාගි වීමෙන් වළක්වා ඇත්නම් එය නීති විරෝධී බව ආචාර්ය ප‍්‍රතිභා මහානාම මහතා පෙන්වා දෙනවා. ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීති පීඨාධිපතිවරයාද වන ඔහු පෙන්වා දෙන්නේ එවැනි බලයක් කමිටු සභාපතිවරියට නොමැති බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.