ඔවුන්ගේ ගම නැගෙනහිර අප්‍රිකාව.
ඔවුන්ගේ රැකියාව හරක් බැලීම.
ඔවුන් විනෝදයට කරන්නේ ක්‍රිකට් ගැසීම.
ලෝකයේ ජීවත් වන දුප්පත්ම ගෝත්‍රික ජනතාවක් ලෙස සැලකිය හැකි ඔවුන් හඳුන්වන්නේ මසායිවරුන් යනුවෙන්. ඔවුන් සෙල්ලම් කරන ක්‍රිකට්වලට කියන්නේ මසායි ක්‍රිකට් යනුවෙන්. රැකියාවට හරක් බලනවා යැයි කිව්වා ඔය තරම් බලන්න කොහෙද හරක්? ඒ නිසා ඔවුන් වැඩි දෙනෙකුම කරන්නේ ඉතා සුළු සුළු වැඩ. ඒ කියන්නේ බිම් කොටීමේ සිට මුට්ට කර ගැසීම හරහා වැසිකිළි පවිත්‍ර කිරීම දක්වා හැම වැඩක්ම ඔවුන් කරනවා.
ක්‍රිකට් කියන්නේ සුද්දාගේ ක්‍රීඩාව බව කවුරුත් දන්නවා. වැඩිම කාලයක් අප්‍රිකාව පාලනය කෙරුණේ සුදු ජාතික අධිරාජ්‍යවාදීන් අතින්. මේ නිසා ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි රටවලට ක්‍රිකට් බෝ වුණා වගේ මසායි වරුන් අතරත් ක්‍රිකට් ක්‍රීඩාව පැතිර ගියා. ලබන මාසයේදී දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නගරයේදී 20යි 20 ක්‍රිකට් ලීග් තරගාවලියක් පැවැත්වෙනවා. එක පිලකට සාමාජිකයන් 8 දෙනා බැගින් සහභාගි වන මේ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන්නට මසායි කණ්ඩායමක් සූදානම් වනවා.
ඔවුන් කියන්නේ තමන්ට ජය ගැනීමට වුවමනාවක් නැති බවයි. මේ තරගාවලියේදී වෙනත් ප්රචාරක ව්‍යාපාරයක් ගෙන යන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ තමයි ඔවුන්ගේ ගෝත්‍රික සමාජයේ පවත්නා කාන්තාවන් සුන්නත් කිරීම සහ ළමා විවාහ යන කාරණාවලට විරුද්ධව ලෝක ජන මතයක් ගොඩනැගීම.
ඒ සමගම තම සමාජය තුළ පැතිර යමින් පවත්නා ඒඩ්ස් වසංගතය ගැන තරුණයන් දැනුවත් කිරීම සඳහා මේ ක්‍රිකට් තරගය හරහා අරමුදල් උපයා ගැනීමටත් ඔවුන් බලාපොරොත්තු වෙනවා.
ක්‍රිකට් තරගාවලිය පටන් ගන්නේ මාර්තු 31 වැනිදා. එය අප්‍රේල් 7 වැනිදා නිමා වෙනවා. ලොව පුරා සිටින ආධුනික ක්‍රිකට් කණ්ඩායම් මේ තරගාවලියට එක් වෙනවා. මේ තරගාවලියේ හොඳම ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් 10000ක් සහ විශාල මාධය ප්‍රචාරණයක් ලැබෙනවා. මසායි ක්‍රිකට් පිල හැඳින් වෙන්නේ මසායි වොරියර්ස් යන නමින්.
මසායිවරුන් බෙහෙවින් දුක්විඳින ගෝත්‍රයක්. ඔවුන්ට අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් ඇත්තේ ඉතාම ස්වල්ප වශයෙන්. මසායි පවුල්වල මහ මිනිසුන්ගේ සිට පොඩි දරුවා දක්වා ජීවනෝපාය සලසා ගන්නට දිනපතා සැතපුම් 15-20ක් පයින් යනවා. මසායිවරුන් අතර සිටි ප්රගතිගාමී තරුණ පිරිසක් ක්‍රිකට් ක්‍රීඩාව තම ගෝත්‍රයට හඳන්වා දුන්නා. ක්‍රිකට් ගැහුවාට මාර්තු අගදී ඇරඹෙන විස්සයි විස්ස තරගාවලියට යන්න දැන් සතයක්වත් නැහැ. මේ ලෝක කුසලාන තරගයට යන ක්‍රිකට් පිරිසට ගමන් ගාස්තුව සහ දින 10ක ගමන් වියදම් සඳහා ඩොලර් 14500ක් වැය වෙනවා. මේ නිසා මසායි ක්‍රිකට් සංවිධානය ලොව පුරා සිටින ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආධාර අපේක්ෂා කරනවා. එක් කෙනෙකුට අඩුම ගානේ ඩොලර් 05 බැගින්වත් ප්රදානය කළ හැකි නම් තමන්ගේ කණ්ඩායමට තරගාවලියට එක් විය හැකි බවයි ඔවුන් කියන්නේ.
පහතින් දැක්වෙන්නේ ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ඡායාරූප කිහිපයකි.
පහතින් දැක්වෙන්නේ ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ඡායාරූප කිහිපයකි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.