2012-03-24

නවි පිල්ලේගෙන් අනතුරු ඇඟවීමක්


ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත වූ යෝජනාව හා සමගාමීව ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීන් වෙත පළිගැනීමේ අරමුණින් එල්ලවන තර්ජනාත්මක හා බියවද්දන සුළු ප්‍රතිවිරෝධතාවයන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.


උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධීපති කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නංවන ලෙස ඉල්ලමින් අමෙරිකාව ප්‍රමුඛ යුරෝපීය රටවල් විසින් ගෙන එන ලද යෝජනාව පසුගියදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත විය. 
අදාළ යෝජනාව සම්බන්ධව ඡන්ද විමසීම සිදුවූ දින කිහිපය තුළ එම ශ්‍රී ලාංකික ක්‍රියාකාරීන්ට පෙර නොවූ විරූ අන්දමේ හා කිසිසේත් අනුමත කළ නොහැකි අන්දමේ තර්ජනය කිරීම් හා හිරිහැර කිරීම් සිදුව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලෙයි මහත්මිය සඳහන් කර තිබේ. ජිනීවා විවාදය සඳහා පැමිණි සාමාජිකයින් 71 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා රජයේ නිල නියෝජිත කණ්ඩායම වෙතින් ද මෙලෙස තර්ජනය කිරීම් සිදුව ඇති බවට මහ කොමසාරිස්වරිය ‍චෝදනා එල්ල කරන බව AFP පුවත් සේවය වාර්තා කරයි.
ශ්‍රී ලංකාව සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී යෝජනාවක් සම්මත වීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එරෙහිව පළිගැනීමක් සිදුනොවිය යුතු බව නවනීදම් පිල්ලෙයි මහත්මිය පවසා ඇති බව ද එම පුවත් සේවය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ඇතැම් මාධ්‍ය මගින් අදාළ ක්‍රියාකාරීන්ගේ ක්‍රියා කලාපය හෙළාදකිමින් දිගින් දිගටම ප්‍රචාරයන් සිදුකර ඇති බව ද නවි පිල්ලෙයි මහත්මිය පෙන්වා දී තිබේ. මෙම ඇතැම් වාර්තාවල පළිගැනීම පිළිබඳ ආවේගශීලී හැඟීම් උද්දීපනය කෙරෙන සුළු අන්තර්ගතයන් සැඟවීමට උත්සාහ නොදරන බව ද නවනීදම් පිල්ලෙයි මහත්මිය පෙන්වාදෙයි. 
ඔවුන් නිශ්චිතව නම් කරමින් ඡායාරූප ප්‍රදර්ශනය කරමින් ඔවුන් දේශද්‍රෝහීන් හා මුදලට වැඩිකරන්නන් ලෙසට චෝදනා කරමින් ඔවුන් ත්‍රස්තවාදයට රුකුල් දෙන රාජ්‍ය නොවන කණ්ඩායමක් බවට චෝදනා කරමින් මෙසේ ඇතැම් මාධ්‍ය විවිධ ප්‍රචාර ගෙනයන බවට ඇය ප්‍රකාශ කර ඇත.
අද දෙරණ වෙබ් අඩවිය ඔස්සේ පළකරන ලද එක් වීඩියෝ දර්ශනයක පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධව සාක්ෂි සැපයූ ක්‍රියාකාරීන් තිදෙනෙකුට චෝදනා එල්ල කරමින් සිදුකළ කතාවක් දැක්වෙන බව ද AFP පුවත් සේවය වාර්තා කරයි.
එමෙන්ම ශ්‍රී ලාංකික ක්‍රියාකාරීන්ට එරෙහි ඇතැම් වාර්තා රාජ්‍ය මාධ්‍ය හරහා හෝ ඇතැම් මාධ්‍යවේදීන් විසින් මෙහෙයවා ඇති බව ද නවි පිල්ලෙයි මහත්මිය පෙන්වා දී ඇති බව එම පුවත් සේවය පවසයි. ඒ අතරම ජිනීවාහි ශ්‍රී ලාංකික නියෝජිතයකු වෙත යොමුකරන ලද නිර්නාමික ලිපියක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක අංශය සහ පොලිසිය විසින් විමර්ශන සිදුකරන බව ද මහ කොමසාරිස්වරිය සඳහන් කර තිබේ.
Source : Adaderana.lk

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.