2012-05-12

කාන්තා ක්‍රිකට් කළමනාකරු අකරතැබ්බක


බටහිර ඉන්දීය කොදෙව් දුපත් හී සංචාරයක නිරතවු ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ඒ.ආර්.එම් අරුත් මහතා එංගලන්තයේ ලන්ඩන් ගුවන් තොටුපළේ දී එරට ආගමන හා විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණා. ඒ මහතාට ඇති චෝදනාව ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත‍්‍ර දෙකක් සන්තකයේ තබා ගැනීම බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ.
බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි සංචාරය අවසන් කරමින් ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම ඊයේ දිනයේ එරටින් පිටව ආවා. ඔවුන්ට ශ‍්‍රී ලංකාවට පැමිණිමිට සිදුව තිබෙන්නේ එංගලන්තයේ ලන්ඩන් සහ ඉන්දියාවේ චෙන්නායි යන ගුවන් තොටුපළ හරහායි. ලන්ඩන් ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගැනුණු ඒ.ආර්.එම්.අරුත් මහතා එහි රඳවා ගෙන තව දුරටත් ප‍්‍රශ්න කෙරෙනවා. කණ්ඩායමේ සෙසු සාමාජිකයින් පිටත් කර එවු අතර ඔවුන් දැන් සිටින්නේ චෙන්නායි ගුවන් තොටුපළෙයි.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමක් විදෙස් රටක සංචාරයක නිරත වන විට එම කණ්ඩායමේ කළමනාකරු ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකුම පත් කිරීමට ඉකුත් දා තීරණය කෙරුණා. ඒ අනුව පත්වීම් ලැබු පළමු කළමනාකාරු වන්නේ ඒ.ආර්.එම්. අරුත් මහතායි. ඒ මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විනිසුරු කමිටුවේ සභාපතිවරයා ද වනවා.
මේ අතර ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනය පවසන්නේ එහි නිලධාරියෙකු ලන්ඩන් ගුවන් තොටුපළේ දි ආගමන සහ විගමන නිලධාරීන් විසින් රඳවා ගෙන ප‍්‍රශ්න කෙරුණු බවයි. එහෙත් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවු බව ද එම නිලධාරියා කණ්ඩායමේ සෙසු සාමාජිකයින් සමගම ශ‍්‍රී ලංකාවට පැමිණෙන බව ද ප‍්‍රකාශ කෙරුණා. එසේ පැමිණිමෙන් පසු තවත් කරුණු විමසා නිල නිවේදනයක් නිකුත් කරන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.