2012-07-26

එම්.කේ. රංජිත් පුත් එම්.කේ. අමිල ඇඹිලිපිටියෙන් දේශපාලන ප්‍රචණ්ඩත්වය අත්පොත් තබයි


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාලනය යටතේ පවතින ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සහ දැනට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂක විජය විතානගේ මහතා ගමන් කරමින් තිබූ රථ පෙළකට අද මැර ප්‍රහාරයක් එල්ල වුණා. ප්‍රහාරය එල්ල වූයේ ඒ මහතා ඇතුළු පිරිසක් ඇඹිලිපිටිය කුට්ටිගල ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් සිටියිදීයි. මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභික හා වත්මන් වැඩබලන සභාපති එම්.කේ. අමිල මහතා ඇතුළු පිරිසක් විසින් බව හිටපු සභාපති සහ වත්මන් රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක විජය විතානගේ මහතා පවසනවා. පහරදීමට පැමිණි පුද්ගලයින් අතර ටී-56 ගිනි අවි තුනක්, පොලු ආදිය වූ බවද ඒ මහතා පවසනවා. විජය විතානගේ මහතා ඇතුළු පිරිස ගමන් ගනිමින් සිටි රථ පෙළට පහරදුන් පිරිස පළාගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විජය විතානගේ මහතා විසින් ඇඹිලිපිටිය පොලීසියට පැමිණිල්ලක් කිරීමට පැමිණියද පසුව ඇඹිලිපිටිය පොලීසිය විසින් අදාළ පැමිණිල්ල කුට්ටිගල පොලීසිය වෙත යොමු කර තිබෙනවා. ඒ අනුව කුට්ටිගල පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව විජය විතානගේ මහතා පවසනවා. 
මේ සම්බන්ධයෙන් අප පොලීසියෙන්ද විමසීමක් කළා. පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලීසිය පැවසුවා. 

1 comment:

  1. පොලීසියට දන්නේ ඉතිං හැමදාම පරීක්ෂණ පවත්වනවා කියන්න විතරයි... පරීක්ෂණයේ ප්‍රථිපල එන්නේ කීයෙන් කීයකටද

    ReplyDelete

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.