2013-11-18

රිය අනතුරකින් එකම පවුලේ හයක් මරුට

මහනුවර හාරගම ප්‍රදේශයේ ඊයේ අලුයම සිදුවූ මාරක රිය අනතුරකින් එකම පවුලේ සයදෙනකු මරණයට පත්ව තවත් 25 දෙනකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති අතර රෝහල් ගත කළ අයවලුන්ගෙන්ද සිවු දෙනකුගේ තත්ත්වය ඉතාමත් බරපතළ බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසනවා. ඊයේ (17දා) පෙරවරු 6.30ට පමණ මහනුවර සිට බදුල්ල දක්වා දිවෙන රජ මාවතේ හාරගම ප්‍රදේශයේදී මේ මාරක රිය අනතුර සිදුව තිබෙනවා.
කටුගස්තොට ගොහාගොඩ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ ඥාතීන් පිරිසක් බදුල්ලේ පැවැති තම ඥාතියකුගේ අවමංගල්‍ය උත්සවයක් සඳහා ගොස් තම නිවෙස් බලා ආපසු පැමිණෙමින් සිටියදී ඔවුන් පැමිණෙමින් සිටි වෑන් රථය හාරගම ප්‍රදේශයේදී හාරගම අනුරගම ප්‍රදේශය  දක්වා ධාවනය වෙමින් පැවැති පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණලා ගැටීම හේතුවෙන් මේ මාරක රිය අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
වෑන් රථය ධාවනය කළ රියැදුරා ඔහුගේ බිරිය හා පුත්‍රයා, බිරියගේ නැඟණිය හා ඇගේ දියණිය මෙන්ම තවත් ඥාතී කාන්තාවක්ද මරණයට පත්ව ඇති බව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන තලාතුඔය පොලිසිය සඳහන් කරයි.
මියගිය දරුවන් දෙදෙනා වයස අවුරුදු හතක හා ‍ෙදාළොස්වන වියේ පසුවන්නන් වන අතර කාන්තාවන් හා පුරුෂයන් අවුරුදු තිස්පහත්, හතළිහත් අතර වයස් කාණ්ඩයන්හි පසුවන්නන් බව සඳහන්ය. අනතුරට ලක්වූ වෑන් රථය අධික වේගයෙන් ධාවනය වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පවසන තලාතුඔය පොලිසිය පෞද්ගලික බස් රථයේ රියැදුරා අත්අඩංගුවට ගත් බව සඳහන් කරයි.

ඉරිදා දිනය මහනුවර රෝහලට රෝගීන් භාර නොගන්නා දිනයක් වුවද රෝහල් කාර්ය මණ්ඩලය එම රෝගීන් භාරගෙන දැඩි කැපවීමෙන් යුක්තව ප්‍රතිකාර කිරීමට කටයුතු කළ බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කෙළේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.