2014-02-14

මාතර පින්නදුව අධිවේගයට හොරෙන් රිංගූ රුසියානු යුවළක් අත්අඩංගුවට

මෙතෙක් විවෘත කර නොමැති මාතර පින්නදූව දක්ෂිණ අධිවේගී මාර්ගයට අනවසරයෙන් යතුරුපැදියකින් ඇතුළු වූ රුසියානු ජාතික අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් පින්නදූව ප‍්‍රවේශ දොරටුවේ ඇති මාර්ග බාධක ඉවත් කර කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට පත්වුණා. අධිවේගී මාර්ගයේ රථ වාහන පොලිස් නිළධාරීන් විසින් අත්අඩංගුවට ගත් විදේශීය යුවළ අක්මීමන පොලීසියට භාරදෙනු ලැබුවා. පසුව ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ ඔවුන් රුපියල් ලක්ෂයක ශරීර ඇපමත මුදාහරින ලෙස නියෝග කළා. එම යතුරුපැදිය ලබාදුන් හිමිකරුට සහ විදේශීය යුවළටද ලබන සඳුදා දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇතැයි පොලීසිය පැවසුවා. 
මේ අතර ඊයේ රාත‍්‍රී 7.15 ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයට නීතිවිරෝධීව ගැලණිගම ප‍්‍රදේශයෙන් ඇතුළු වූ තරුණයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 28ක් වන ඔහු යතුරු පැදියද රැුගෙන ආරක්ෂක වැටට උඩින් පැන අධිවේගී මාර්ගයේ ගමන් කර ඇතැයි සඳහන්. බණ්ඩාරගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන තරුණයා අත්අඩංගුවට ගනු ලැබුවේ ගැලණිගම පොලිස් මුරපොළේ නිලධාරීන් විසින්.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.