“මේ දිනවල ගොඩක් කාර්යබහුල වෙලා නේද?” එම්.ජී. ධනුක්ෂකව සම්බන්ධ කරගැනීම ඉතාමත් අසීරු වුණු නිසාම මම පළමු ප්‍රශ්නය ඒ විදිහට එම්.ජී. ට යොමු කළා.
“ඔව්. ගොඩක් කාර්යබහුල වෙලා. ප්‍රසංගවලට කතා කරනවා. ලබන මාසේ ඉඳලා පිටරට ප්‍රසංගවලටත් සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ගොඩක් කාර්යබහුලයි. ඒ නිසාම මම ගෙදර නෙවේ මේ දිනවල ඉන්නේ. කඩුවෙල අයියා කෙනකුගේ ගෙදර.” එම්.ජී. සුපුරුදු සිනහවෙන් පිළිතුරු ලබාදුන්නා.
“අලුත් නිර්මාණ මුකුත් කළේ නැද්ද?”
“අලුත් නිර්මාණ තුනක් කළා. හතරවැනි එක කරගෙන යනවා. ඉක්මනටම මම මගේ රසිකයන්ට මගේ නිර්මාණ එළිදක්වනවා. මට පොඩි පොඩි ප්‍රශ්න වගයක් ආවා පහුගිය දිනවල මම අනුන්ගේ සින්දු කියනවා කියලා. ඒ නිසා මම ඉක්මනින් මගේම නිර්මාණ කිහිපයක් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා” යැයි එම්.ජී. දැඩි අධිෂ්ඨානයකින් මට පිළිතුරු ලබාදුන්නා.
“ඔබ කළ අලුත් නිර්මාණ බයිලා ශෛලියට අයත් ඒවාමද?” එම්.ජී. එම ගීත ශෛලියට වඩාත් නැඹුරු නිසාම මම එලෙස ඇහුවා.
“ඔව්. ගොඩක් රසිකයෝ මගෙන් බලාපොරොත්තු වෙන්නේ බයිලා ෙශෙලියට අයත් ගීත. ඒ නිසා මගේ අලුත් නිර්මාණත් ඒ ෙශෙලියට වඩාත් නැඹුරුයි. හොඳ නිර්මාණ ටිකක් කළා. රසිකයෝ ගොඩක් කැමැති වෙයි ඒ නිර්මාණවලට.”
“ඇයි ඔබ බයිලා ශෛලියට අයත් ගීත වැඩිපුර ගායනා කරන්නේ?” “එහෙම ලොකු හේතුවක් නෑ. දැන් බයිලා ෙශෙලියේ ගීත ඇහෙනවා අඩුයි. ඒක නිසා බයිලා ගීතවලට වැඩිපුර තැනක් ලැබෙනවා. හැමෝටම බයිලා ෙශෙලියේ ගීත කියන්න බෑ. මමත් බයිලා ෙශෙලියේ අංගසම්පූර්ණ නෑ. මමත් තවම ඒ ගැන ඉගෙන ගන්නවා. වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා.”
“සිහින තරුවට ලැබුණු මුදල් ත්‍යාගයට මොකද කළේ?”
“ඒ ත්‍යාගය ඒ විදිහටම තියෙනවා. ලොකු අදහස් කිහිපයක් තියෙනවා කරන්න. මගේ ස්ථාවරය හදාගන්නත් ඕන. ඒ වගේ ඒවාට වියදම් කරනවා.”
“එතකොට පියා නමින් හදනවා කිව්ව ළමා නිවාසය හදන්නේ නැද්ද?” “ඒකට අපි පදනමක් පිහිටුවලා තියෙන්නේ. ඒවාට අවශ්‍ය ලියකියවිලි භාරදීලා තියෙනවා අදාළ තැන්වලට. රජයෙන් ඉඩමක් ඉල්ලලා තියෙනවා. ඒ වැඩකටයුතුත් කෙරෙනවා. මම මේ ගමන පටන් ගත්තා විතරයි. හෙමින් කරගෙන යනවා.”
“සමාජ සේවා කරන්නේ දේශපාලනයට එන්න බලාගෙනද?”
“අපෝ නෑ. දේශපාලනයට එන්න කිසිම බලාපොරොත්තුවක් නෑ.”
“එම්.ජී. ට ප්‍රවීණයන් ඊර්ෂ්‍යා කරනවාද?”
“මම ඒවා ගණන් ගන්නේ නෑ. කවදාහරි එයාලා ඒක තේරුම් ගනියි. මම වගේ කෙනකුටත් එයාලා එහෙම කරනවා කියන්නේ වැඩක් නෑනේ.. සමහරු අවංකවම කතා කරනවා.”
“ඔබ ප්‍රවීණයන්ට ගරු කරන්නේ නෑ කියන්නේ ඇත්තද?”
“එහෙම වෙන්න විදිහක් නෑ. ප්‍රවීණයෝ කියලා මහ ගොඩක් මට හමුවෙලා නෑ. හමුවෙලා ඉන්න කිහිපදෙනා දන්නවා මම කවුද කියලා.”
“ඔබත් සමග කරට කර තරග වැදි අනෙක් තරගකරුවෝ ගැන මොකද හිතන්නේ?”
“එයාලත් දක්ෂයි. අපි හරි එකමුතුවෙන් වැඩ කරනවා. හොඳින් වැඩ කරගෙන ගියා සහ අදටත් හොඳින් ඉන්නවා.”
“ඒ අතර හිටපු සමහරු කිව්වා නේද දුප්පත්කම ගැන කියන්න ගියා නම් එයාලා සිහින තරුව වෙනවා කියලා. ඒ ගැන මොකද හිතන්නේ?”
“ඒ ගැන මම මොනවා කියන්නද? මම දිනන්නට ආපු ගමනක් නෙවෙයි. මම තරගයට හොඳින් මුහුණ දුන්නා. මගේ දුප්පත්කම ගැන කියලා මම එස්.එම්.එස්. අරන් නෑ. ඕවා කියන අයත් දක්ෂ ඇති. දැන් හැමදේම වෙලා ඉවරයි. අනුන්ගේ ඒවා හොයන්නේ නැතිව තමන්ගේ දෙයක් කරගෙන හිටියා නම් තමයි වටින්නේ.”
“එම්.ජී. ආඩම්බරකාර තරුවක් වෙලාද?”
“අපෝ නෑ. මම ආඩම්බර නෑ. එදා වගේම අදත් රසිකයන්ට මම ආදරෙයි. හැමදාමත් මම රසිකයෝ ගැන හිතනවා.”
“එහෙනම් ඇයි එම්.ජී. ව දුරකථනයෙන් සම්බන්ධ කරගන්නත් ලේකම්වරයෙක් පත් කරගෙන ඉන්නේ?”
“මට ලැබෙන ප්‍රසංග සම්බන්ධීකරණය කරන්නයි එයා පත් කරලා ඉන්නේ. මගේ වැඩ පහසු කරගන්නයි. මම තාම මේ වෘත්තියට අලුත්. ඒ නිසා ටික දවසක් යනකම් එයා මට උදව් කරනවා.”
“එම්.ජී. ට ලැබුණු ජනප්‍රියත්වයත් එක්ක තරුණියන්ගෙන් ප්‍රේම යෝජනා එහෙම ලැබෙනවා ඇති නේද?”
“අනේ දෙවියන්ගේ පිහිටෙන් තවම එහෙම වෙලා නැහැ. මම හැමෝමත් එක්ක විහිළුවෙන් ඉන්න නිසා එහෙම යෝජනා ඇවිත් නෑ.”
“එම්.ජී. පෙම්වතෙක් නේද?”
“ඔව්. පෙම්වතිය ගැන සියලු විස්තර ඉදිරියට කියන්නම්.”
මයුරි පෙරේරා
උපුටා ගැනීම රිවිර පුවත්පතිනි
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.