2012-03-22

හිමිවරුන්ගේ ඝාතකයා බස්නායක නිළමේ කෙනෙක්


කෝට්ටේ රජමහා විහාරයේ වැඩවාසය කළ ස්වාමීන් වහන්සේලා දෙනම පෙරේදා (20දා)  රාත්‍රීයේ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. කෙසේ වෙතත් මෙහි ඝාතකයා තවමත් අත්අඩංගුවට ගෙන ැනති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි. 

81 හැවිරිදි පිටිගල ජිනසිරි හා 61 හැවිරිදි බොරලැස්ගමුවේ ජනරතන යන මෙම හිමිවරුන් දෙනම ඝාතනය කිරීමට හේතුව වී ඇත්තේ එම විහාරයේ තිබූ රත්‍රං කඩුවක් රත්තරන් තොගයක් සහ මුදල් සොරා ගැනීමට උත්සාහ ගැනීමට කිරීමක් බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඇතැම් පාර්ශ්ව ඝාතනයට හේතුව ඉඩම් ආරවුලක් බවට සඳහන් කළත් ඒ පිළිබඳ පැහැදිළි සාක්ෂියක් තවමත් අනාවරණය වී නැතැයි පරීක්ෂණ මෙහෙයවන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයෙක් “රිවිර“ට පැවසීය.
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා ගල්ගමුව වාපිකාරාම විහාරස්ථානයේ බස්නායක නිලමේ ධුරය දරන පතිරගේ හර්ෂ ශ්‍රී මංජු මනිකීර්ති පෙරේරා නම් 26 හැවිරිදි තැනැත්තෙකු බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු රක්ෂණ නියෝජිතයෙකු ලෙස ද කටයුතු කරන්නෙකු බව පැවසේ. මොහුගේ පියා කලක් මිරිහාන පොලීසියේද සේවය කළ  හිටපු පොලිස් නිලධාරියකු බවද අනාවරණ වී ඇත. මෙම පුද්ගලයා සමග රැඳී සිටි ඝාතකයා ලෙස කටයුතු කළ තැනැත්තා කෝට්ටේ රජමහා විහාරස්ථානයේ කලක් භික්ෂුවක් සේ කටයුතු කර සිවුර හැරගිය පුද්ගලයකු බව සඳහන් වේ. එහු පසුව සිවුරු හැර ඇති බවත් කලක පටන්ම සමීප මිතුරන් බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම මොවුන් දෙදෙනා නිරතුරුව මෙම විහාරස්ථානය සමග සමීප සබඳකම් පවත්වාගෙන ගොස් ඇතැයි ද හෙළි වී තිබේ.
පොලීසිය පවසන අන්දමට මොවන් ඝාතනය සඳහා පැමිණ ඇත්තේ මනිකීර්ති පෙරේරාට අයත් KM-5376 දරණ මෝටර් රථයෙනි. පෙරේදා පස්වරුවේ මොවුන් දෙදෙනො කාන්තාවක් සමග ගල්කිස්ස ප්‍රදේශයේ අවන්හලක රාත්‍රී ආහාරය ගෙන තිබේ. අනතුරුව මොවුන් එම කාන්තාව අතුරුගිරිය, හබරකඩ සිරි සීලාලංකාර මාවත ප්‍රෙද්ශයට ඇරලවා ඇත. මොවුන් සමග සමීප හිතවත්කම් පවත්වා ඇති ඝාතනයට ලක්වූ බොරලැස්ගමුවේ ගුණරතන හිමියන් මේ අවස්ථාවේදී මනිකිර්තිගේ ජංගම දුරකථනයට ඇමතුමක්ද ලබාදී ඇතැයි සඳහන් වේ. ඒ මොහොතේ වේලාව රාත්‍රී නවය පමණ වූ බවද පොලීසිය සඳහන් කරයි.
ඉන් අනතුරුව මෙම පුද්ගලයන් දෙදෙනා අතුරුගිරියේ සිට කෝට්ටේ  රජමහා විහාරස්ථානය බලා පැමිණ තිබේ. ගුණරතන හිමියන් සමග සුහදව කතාබහ කර ඇති මනිකීර්ති අනතුරුව උන්වහන්සේගෙන් වතුර වීදුරුවක් ද ඉල්ලාගෙන පානය කර ඇතැයි සඳහන් වේ. මෙම අවස්ථාවේ විහාරස්ථානයේ තවත් පිරිසක් ද රැඳී සිට ඇති අතර මොවුන් හිමිවරුන් සමග කතාබහ කරමින් සිටි බවට තොරතුරු හෙළිව ඇත.
මොවුන් විහාරස්ථානයට පැමිණෙන විට තියුණු මුවහත් සහිත පිහියක් රැගෙන ඒම තුළ මෙම ඝාතනය සැලසුම් කළ එකක් බවට පොලීසියට සැක මතු වී තිබේ. කෙසේ හෝ අනතුරුව මොවුන් දේපොළ කොල්ලකෑමට සූදානම් වී ඇතැයි විශ්වාස කෙරේ. මේ අවස්ථාවේදී පිටිගල ජිනසිරි හිමියන් දත් මදිමින් සිට ඇති අතර උන් වහන්සේ අනතුරුව නාන කාමරයට යනු ඇතැයි අනුමාන කළ ප්‍රධාන ඝාතකයා උන් වහන්සේට පෙර පිහියක් ද රැගෙන නාන කාමරයට වැදී සැඟවී ඇතැයි සඳහන් වේ. නාන කාමරය තුළ කිසිවෙක් ඇති බව නොදත් ජිනසිරි හිමියන් වැසිකිළි යාමට සූදානම් වූ අවස්ථාවේ ඝාතකයා පිටුපසින් හිමියන්ගේ බෙල්ලට පිහිපහර එල්ල කර තිබේ. එම අවස්ථාවේදී උන් වහන්සේ කෑගසමින් වැටී ඇති අතර මෙම ශබ්දය ඇසී ගුණරතන හිමියන් එම ස්ථානයට ඒමට උත්සාහ දරා ඇතැයි සඳහන් වේ. මෙම අවස්ථාවේ මනිකීර්ති නමැත්තා ගුණරතන හිමියන් බදාගෙන ඇති බවත් ඝාතකයා වහා එහි පැමිණ උන් වහන්සේටද පිහි පහර එල්ල කර ඇති බවත් පොලීසිය සැක කරයි. මෙම ශබ්දවලින් විහාරස්ථානයේ ආවාසය තුළ කලබලයක් පවතින බවට එහි පැමිණ සිටි අයට දැනී තිබේ. ඒ අනුව පිරිස මේ දෙසට පැමිණෙනවාත් සමග ඝාතකයන් වහ වහා පළාගොස් තිබේ.
සැකකරුවන් දෙදෙනා ඔවුන් පැමිණි මෝටර් රථයෙන් පැනයන  අවස්ථාවේ ඒ වන විටත් එම විහාරස්ථානයේ පිහිටි නා ගස සමීපයේ රැඳී සිටි තරුණයකු ඝාතකයන් පැමිණි මෝටර් රථයේ අංකය (කේ.එම්. 6376) ඇඟිල්ලෙන් වැලි මළුවේ ලියා ඇත. එසේම ඔහුට අමතක වේයැයි සිතා ඔහුගේ දුරකථනයේද අංකය සටහන් කොට තිබේ. පසුව ඒ වන විටත් දරුණු කැපුම් තුවාල ලබා සිටි බොරලැස්ගමුවේ ගුණරතන හිමියන් කළුබෝවිල රෝහලට රැගෙන යද්දී අපවත් වී තිබේ.
ඒත් සමග එතැනට පැමිණි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇත. එම කණ්ඩායම අතර ඇඟිලි සලකුණු විශේෂඥයන් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් සම්බන්ධව යොදා ගැනෙන කැන්ඩි නම් සුනඛයාද රැගෙනවිත් තිබේ. ඒ අවස්ථාවේ මළුවේ තිබී හමු වූ සෙරෙප්පුවක් කැන්ඩි සුනඛයා ඉව අල්ලා එම ඉව ඔස්සේ විහාරස්ථානය අසල පිහිටි අලුතින් ගොඩනගන ගොඩනැගිල්ලක් අසලට ගොස් තිබේ. එහිදී එම ස්ථානයේ තරුණයන් හතර දෙනෙකු මත්පැන් පානය කොට තිබේ. පසුව එම ඝාතනය සම්බන්ධව එම තරුණයන් හතර දෙනා ඊයේ (21) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. 
ඒ වන විටත් ඝාතකයන් පැමිණි මෝටර් රථය සොයා මෙහෙයුම් දියත් කළ පොලිස් නිලධාරීන් හට කේ.එම්. 6376 යන මෝටර් රථයේ හිමිකරු මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී තිබේ. ඒ අනුව සිය මව සහ සොයුරිය සමග සිටියදී මනිකිර්ති නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.
මනිකීර්ති අත්අඩංගුවට ගත් පොලීසිය සිය ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර එහිදී ප්‍රධාන ඝාතකයා බසයක නැගී ඇඹිලිපිටිය ප්‍රදේශය බලා පිටත්ව ගොස් ඇති බව අනාවරණය කරගෙන ඇත.
කෙසේ වෙතත් මෙම ඝාතනයට සම්බන්ධ අනෙක් සැකකරු සොයා මේ වන විටත් පරීක්ෂණ කණ්ඩායම් අදාළ ප්‍රදේශවලට ගොස් තිබේ. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධව තව තවත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බව පොලීසිය පවසයි. එහෙත් පැමිණි ඝාතකයන් විහාරස්ථානයේ තිබූ කුමන හෝ දෙයක් සොරා ගෙන ඇති බවට තවමත් වාර්තා වී නොමැති බව පොලීසිය පවසයි.
මේ සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, බස්නාහිර පළාත දකුණු භාර නියෝජ්‍ය පොලිස්පති අයි.එම්. කරුණාරත්න, නුගේගොඩ පොලිස් අධිකාරි සාලිය සිල්වා සහ නුගේගොඩ කොට්ඨාස අංක 1 භාර පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා යන මහත්වරුන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත මහරගම සහ මිරිහාන පොලීසි සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
(බන්දුල දිනපූර්ණ/ගයාන් ගාල්ලගේ/තක්ෂිලා රුවන්දි පතිරණ)
උපුටා ගැනීම - රිවිර පුවත්පත

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.