2012-07-23

ඇමැතිගේ බලපරාක්‍රමයෙන් උතුරේ අධිකරණ 27දා දක්වා ගොළු කරයි


උතුරේ සියලූ අධිකරණ සේවා කටයුතුවලින් ලබන 27 වනදා දක්වා ඉවත් වීමට නීතීඥවරුන් සහ අධිකරණ සේවකයින් අද තීරණය කළා. ඒ මන්නාරමේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි. මන්නාරම මහේස්ත‍්‍රාත්වරයාට අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා තර්ජනය කළේ යැයි එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් තවමත් නීතිය ක‍්‍රියාත්මක වී නොමැති බවයි ඔවුන් පෙන්වා දුන්නේ. අධිකරණයට ගල්මුල් ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා පිරිසක් මෙහෙය වීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා චෝදනාවට ලක්ව සිටිනවා. මීට එරෙහිව මන්නාරම පාලම අසළදී නීතිඥවරුන් උද්ඝෝෂණයකද නිරත වුණා. එහිදී ප‍්‍රකාශ කෙරුණේ පහර දීම සිදුකළ ප‍්‍රධාන සැකකරු දේශපාලන රැකවරණ මත තවදුරටත් නීතියෙන් ගැලවී සිටින බවයි.
මේ අතර අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා වහා අත්අඩංගුවට ගන්නැයි පොලීසියට බල කරමින් අලූත්කඬේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදීද නීතීඥවරුන් අද විරෝධතාවක නිරත වුණා. ඒ, අධිකරණයේ ස්වාධීනතාවය වෙනුවෙන් පෙරට එන්නැයිද, අධිකරණය රැක ගන්නැයිද බල කෙරෙන පෝස්ටර් ප‍්‍රදර්ශනය කරමින්. මේ අතර අදාළ චෝදනා යටතේ අමාත්‍යවරයාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. එය හෙට දිනයේ කැඳවීමට නියමිත බවයි ජ්‍යෙෂ්ඨ නීතීඥ ජේ.සී. වැලිඅමුණ මහතා ප‍්‍රකාශ කළේ.
මේ අතර අමාත්‍යවරයා මහේස්ත‍්‍රාත්වරයාට දුරකතනයෙන් තර්ජනය කළේය යන සිදුවීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුරකතන ජාල පරීක්ෂාවක් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ එම දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙකු මහේස්ත‍්‍රාත්වරයාගෙන් මේ පිළිබඳ දීර්ඝ ප‍්‍රකාශයක්ද ලබාගෙන ඇති බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.