මුව ආවරණ හෝ ආරක්ෂක ක්‍රමවේදයකින් තොරව අනතුරුදායක කාර්යයකට සහභාගිවීම සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයින් ප්‍රතික්ෂේප කර තිබියදී ආයතන පාලකයින් එය නොසලකා ඔවුන්ගේ ජීවිත අවදානමට ලක්කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. මෙරට පෞද්ගලික ආයතන පමණක් නොව රාජ්‍ය ආයතන පවා කම්කරුවන්ගේ ජීවිත ආරක්ෂාව නොතකා ඔවුන් සූරාකෑමට ලක් කරන බව ඉන් පැහැදිළි වන බව එහි දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත මහතා පෙන්වාදෙනවා. ඒ සම්බන්ධයෙන් ඔහු නිකුත් කළ මාධ්‍ය නිවේදනයක වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
නොවැම්බර් මස 16 වැනිදා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සිදු වූ සිදුවීමකින් කම්කරුවන් දෙදෙනකු මිය ගොස් ඇති අතර තවත් කම්කරුවන් කිහිප දෙනකු රෝගාතුරවීමෙන් අනතුරුව රෝහල් ගත කර ඇත. වාර්තා වන අන්දමට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගෑස් නලයක, ගෑස් කාන්දුවක් සිදුව ඇති අතර මෙම සේවකයින් එය පිළිසකර කිරීමට යැවීමෙන් අනතුරුව විෂ දුම ආග්‍රහණය වීමෙන් මෙම අනතුර සිදු වී තිබේ. සේවකයින් පවසන ආකාරයට මුව ආවරණ හෝ වෙනත් කිසිදු ආරක්ෂක ක්‍රමවේදයකින් තොරව මෙතරම් අනතුරුදායක කාර්යයකට සහභාගිවීම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති නමුත් ආයතන පාලකයින් එය නොසලකා ඔවුන්ගේ ජීවිත අවදානමට ලක් කොට තිබේ.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රාජ්‍ය ආයතනයක් වන අතර මෙම සිදුවීම පෙන්නුම් කරන්නේ දැන් පෞද්ගලික ආයතන පමණ නොව රාජ්‍ය ආයතන පවා කම්කරුවන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ නොතකා හැර ඔවුන් සූරාකෑමට ලක් කරන බවයි.
ආණ්ඩුව කම්කරුවන්ගේ ජීවිත ආරක්ෂාව ජීවන තත්ත්වය හා අයිතිවාසිකම් පිළිබඳව බැරැරුම් ලෙස ගණන් නොගන්නා බවත් කම්කරුවන් නොතකා හැර ඇති බවත් පෙන්නුම් කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. නිදසුනක් ලෙස 2013 අය වැය ලේඛනය ගත්තද එහිදී පවා කම්කරුවන් මුළුමනින්ම නොතකා හැර තිබේ.
දිනෙන් දින උග්‍ර වන ජීවන වියදම හමුවේ සාපේක්ෂ ජීවන තත්ත්වයක් නඩත්තු කර ගැනීම වෙනුවෙන් කම්කරු පන්තිය තුළින් විවිධ ඉල්ලීම් මතු විය. ඒ සඳහා අත්‍යවශ්‍යයෙන් ඔවුන්ට හිමි විය යුතු වැටුප් වැඩිවීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන සොච්චම් මුදලක් ලබාදී ඇති නමුත් එයද වැටුප් වැඩිවීමක් නොව දීමනාවකි. ලක්ෂ 40කට අධික පෞද්ගලික අංශයේ කම්කරුවන් පිළිබඳවත් ලක්ෂ 8ක් පමණ වන වතු කම්කරුවන් පිළිබඳවත් කිසිදු සඳහනක් අය වැයේ නැත. මේ වන විට රාජ්‍ය අංශයේ පෞද්ගලික අංශයේ හා වතු අංශයේ මෙන්ම කොන්ත්‍රාත් හා අනියම් සේවා සපයන කම්කරුවන්ද ඉතා පහත් ජීවන මට්ටමකට හිමිකම් කියමින් සේවා අවස්ථාවන්හිදී සිය ජීවිත පවා අවදානමට ලක් කරයි. පාලකයින් කම්කරුවන්ගේ අයිතිවාසිකම් පමණක් නොව ජීවිත ආරක්ෂාව පවා තුට්ටුවකට නොසලකා ක්‍රියා කරන බවට මෙවැනි නිදසුන් ඕනෑ තරම් සැපයිය හැක. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සිදුවීම ආසන්නතම සිදුවීම පමණි.
කම්කරුවන්ට යහපත් සේවා කොන්දේසි හිමිකර දීම වෙනුවෙන්වත් හඬ නොනගන කම්කරු අරගල වැටුප් අරගලවලට පමණක් සීමා කරන සම්මුතිකාමී බවට පත් වූ වෘත්තිය සමිති ව්‍යාපාරයද මෙම තත්ත්වයට වගකිව යුතුව තිබේ.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේදී මිය ගිය කම්කරුවන් දෙදෙනාගේ පවුල්වල ඥාතීන්ට හා මිතමිත්රාදීන්ට දැඩි සංවේගය ප්‍රකාශ කර සිටින අපි සිය සේවා කොන්දේසි යහපත් කර ගැනීම සඳහාත් සේවා කාලය තුළ ජීවිතය හා සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහාත් එම ක්ෂේත්රයන්හි අයිතීන් දිනා ගැනීම සඳහාත් අරගල කිරීමට එක් වන ලෙස සමස්ත කම්කරු ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
උපුටා ගැනීම - අද දෙරණ
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.