2013-01-05

අපි ඉල්ලුවේ රේසිං කාර් නෙවෙයි-රු. 8000 මූලික වැටුප වැඩි කරන්නයි අපි ඉල්ලුවෙ


පොලීසිය හා හමුදාව යොදවාතමන්ට මාරාන්තික ප‍්‍රහාරයක් එල්ල කරේ රේසිං කාර් ඉල්ලන්න ගොස් නොවන බවත් රුපියල් 8000 වැටුප ප‍්‍රමාණවත් නොවන හෙයින් ඊට වඩා වැඩි වැටුපක් ඉල්ලීමට ගොස් බවත් හොරණ නේචර් සීක‍්‍රට් ආයතනයේ කැළුම් බණ්ඩාරනායක  පවසනවා. අන්තර් සමාගම් සේවක සංගමයේ නේචර් සීක‍්‍රට් ආයතනයේ ශාඛා ලේකම් ලෙස කටයුතු කරන ඔහු පසුගිය 2 වන දින එල්ල වූ පොලිස් ප‍්‍රහාරයෙන් තුවාල ලබා තිබෙනවා.
හොරණ නේචර් සීක‍්‍රට් ආයතනයේ සේවකයෝ පසුගිය 2 වැනි දින ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණය කර ඇත්තේ වැටුප ප‍්‍රමාණවත් නොවීම හා මාසික දිරි දීමනාව හා වාර්ෂික ප‍්‍රසාද දීමනාව ලබා ගැනීම වෙනුවෙනි. මෙලෙස එම සේවකයින්ට හා ප‍්‍රදේශයේ ගම්වාසීන්ට පොලීසි කිහිපයකින් පැමිණ මාරාන්තික ප‍්‍රහාරයක් එල්ල කරන ලද්දේ ආණ්ඩුවේ ඉහළින් ආ නියෝගයකින් බවට තොරතුරු වාර්තා වන බව සේවකයින් පවසනවා. නේචර් සීක‍්‍රට් පරිපාලනය හා රජයේ ඉහළම අයෙක්ගේ සමීප සම්බන්ධතාවයක් හේතුවෙන් මෙලෙස පොලීසිය මගින් සේවකයින්ට මාරාන්තික ප‍්‍රහාරය එල්ල කෙරුණු බවද සේවක සේවිකාවන් පවසනවා. සේවිකාවන් කිහිප දෙනෙකුටම පොලිසිය මගින් මිලේච්ඡ ලෙස පහර දුන් බවද සේවකයින් පෙන්වා දෙනවා. එමෙන්ම ගුවන් හමුදා මගින් හෙලිකොප්ටර් යානා යොදවා සේවකයින්ට පහරදීමට කටයුතු කර ඇති බවද ඔවුන් පවසනවා. මෙම ප‍්‍රහාරය හේතුවෙන් තවමත් සේවකයින් පිරිසක් හොරණ හෝමාගම සහ පාදුක්ක රෝහල්වල නේවාසිකව ප‍්‍රතිකාර කරන බවද කැළුම් බණ්ඩාර පවසනවා. ආයතන පරිපාලනය හා පොලීසිය ඒකාබද්දව සේවකයින් මර්ධනය කිරීම සඳහා තවමත් ප‍්‍රදේශය තුල මෙහෙයුම් ක‍්‍රියාත්මක කරමින් සිටින බවද ඔහු පවසනවා.
මෙම මිලේච්ඡ පොලිස් ප‍්‍රහාරය සම්බන්ධයෙන් අන්තර් සමාගම් සේවක සංගමය මගින් පොලිස්පතිවරයාට පැමිණිලි කොට ඇති අතර මේ පිළිබඳව යුක්තිය ඉෂ්ඨ කරන ලෙස එමගින් ඉල්ලා ඇති බව අන්තර් සමාගම් සේවක සංගමයේ විධායක සභික සෝමදාස වීරතුංග මහතා පවසනවා. රටේ වැඩ කරන ජනතාවට තිබෙන වෘත්තීය අයිතීන් පාලකයින් විසින් අහෝසි කරමින් සිටින බවද මෙම තත්වය සම්බන්ධයෙන් ඉදිරි ක‍්‍රියාමාර්ගවලට යා යුතුව තිබෙන බවද සෝමදාස මහතා පෙන්වා දෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.