2013-10-17

සුරනිමල සුදත් අද අධිකරණය හමුවට - තවත් 20ක් සොයනවා පොලීසිය කියයි

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය පළකරමින් මාතර පැවැති පා ගමනට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්‌ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබූ හිටපු ඇමැති සුරනිමල රාජපක්‍ෂ, විපක්‍ෂ නායකවරයාගේ පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර යන මහත්වරුන් ඇතුළු සැකකරුවන් අටදෙනා අද (17 වැනිදා) දින අධිකරණය වෙත භාර වීමට නියමිතය.
තමන් අධිකරණය වෙත භාර වීමට සූදානමින් සිටින බවට මෙම සැකකරුවන්ගෙන් කීපදෙනෙක්‌ මාතර පොලිසිය වෙත දැනුම් දීමක්‌ ද කර තිබේ.
මෙම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මාතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කිරීමෙන් පසු විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් පහක්‌ ඔවුන් සොයා පරීක්‍ෂණ ආරම්භ කර තිබිණි.
මෙම සැකකරුවන්aට අයත් නිවාස පොලිසිය මගින් පරීක්‍ෂා කළ අතර ඔවුන් ඒ වනවිටත් නිවාස අතහැර ගොස්‌ සිටි බව පොලිස්‌ ආරංචි මාර්ග පැවසීය.
මාතර නගරයේ සිදුවූ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ඇතුළු තිදෙනෙක්‌ මාතර අධිකරණය වෙත පෙරේදා භාර වූහ. පසුව ඔවුන් ඇපමත මුදා හරින ලදී.
මේ අතර මාතරදී සිදුවූ ගැටුමට සම්බන්ධ තවත් පුද්ගලයන් 20 දෙනෙක්‌ අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින බව පොලිස්‌ ආරංචි මාර්ග පවසයි. ඒ අතර කොළඹ නාගරික මන්ත්‍රී නීතිඥ නදිල් මාලගොඩ මහතා ද සිටියි.
එම සැකකරුවන් අතර විපක්‍ෂනායකවරයාට පක්‍ෂව පා ගමනේ ගිය පුද්ගලයන් සහ විරෝධය පළ කරමින් පාගමනේ ගිය පිරිසක්‌ ද සිටිති. මෙම සැකකරුවන්ගෙන් ද වැඩිදෙනෙක්‌ අධිකරණය වෙත භාරවීමට සූදානමින් සිටිති.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ද විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් 6 ක්‌ යොදවා ඇත.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.