2013-10-26

මගේ බලාපොරොත්තුව අම්මා කෙනෙක් වෙන්නයි - මංජුලා

මංජුලා කුමාරි කාලයක් තිස්සේ ජනප්‍රිය චරිතයක්. ඒත් ඇය පසුගිය කාලයේ දකින්න ලැබුණේ නැහැ. ඒ නිසාම ඇගේ අලුත් තොරතුරු දැනගන්න අපි ඇයට කතා  කළා.
මේ දවස්වල පේන්න නැත්තේ ඇයි?
මට හිතුණා ටික කාලයක් විවේකයෙන් ඉන්න ඕන කියලා. ඒ නිසා ලැබුණ ගොඩක් නිර්මාණවලට බැහැ කිව්වා. මාව මේ දවස්වල දකින්න නැත්තේ ඒ නිසයි.
ඇයි එකපාරම විවේකයක් ගන්න හිතුවේ?
මම කොහොමත් එක දිගට ගොඩක් වැඩ කරපු කෙනෙක් නෙමේ. මට හිතුණා නිළියක් වෙලාම ඉන්නෙ නැතුව බිරිඳක් විදිහට ගත වෙන ජීවිතයටත් ඉඩ දෙන්න ඕන කියලා.
ඒක මංජුලාට ආදරය කරන පිරිසට අසාධාරණයක් නෙමේද?
එක පැත්තකින් බලුවම ඒක අසාධාරණයක් තමා. ඒ වුණාට බිරිඳක් විදිහට මටත් බලා‍පොරෝත්තු තියනවා.
මොනවද ඒ බලා‍පොරොත්තු?
මම දැන් විවාහ වෙලා අවුරුදු 5ක්. මම හිතාගෙන හිටපු වයසෙන්ම විවාහ වෙන්න මට පුළුවන් වුණා. දැන් මට ලොකු බලා‍පොරොත්තුවක් තියනවා අම්ම කෙනෙක් වෙන්න.
ඒ බලා‍පොරොත්තුව නිසාද නිර්මාණ බාර නොගන්නේ?
මම හිතන්නේ ඒක තමයි ලොකුම හේතුව. මොකද මම කැමැති නෑ මොනම නිර්මාණයක් කරගෙන යන අතරතුර ඒකෙන් අයින් වෙන්න. එහෙම අයින් වුණොත් ඒක මටත් නිර්මාණයටත් යන දෙකටම හානියක්. 
එක දිගටම ගෙදර ඉන්න කම්මැලිකමක් නැද්ද?
මම වැඩ ගොඩ ගහගෙන කළේ නෑ. ඒ නිසා කොහොමත් මම වැඩිපුර ගෙදර හිටියා. දැන් වුණත් මට ලොකු වෙනසක් නෑ. කොහොමත් ගෙදරදී මගේ තනියට මගේ ආත්තම්මයි, මගේ සුරතල් ජෝයි මාත් එක්ක ඉන්නවා. ඒ නිසා මට කම්මැලිකමක් නෑ. 
ගෙදර වැඩ කෙරෙන්නේ මංජුලාගේ අතින්ද?
මගේ උදව්වට දෙන්නෙක් විතර ඉන්නවා. ඒ වුණත් ගොඩක් වැඩ මම තනියම කරනවා. මං ඒ වැඩවලට ආසයි.
මංජුලාට උයන්නත් පුළුවන්ද?
හොඳටම හොඳට රසටම උයන්න බෑ. ඒත් ලුණු ඇඹුල් ඇතිව කන්න පුළුවන් විදිහට කෑම හදන්න පුළුවන්.
කොහොමද උයන්න පුරුදු වුණේ?
විවාහ වුණ මුල් කා‍ලේ මමයි සැමියයි තනියම හිටියේ. ඒ කා‍ලේ මම තමයි උයන පිහන වැඩ ඔක්කොම කළේ. 
කාලෙකින් දැකපු නැනි නිසා මංජුලාගේ ජනප්‍රියකම දැන් අඩුවෙලාද?
මට නම් එහෙම හිතෙන්නේ නැහැ. එදා වගේම අදටත් ගොඩක් අය මට කතා කරනවා. ලියුම් එවනවා. පාරෙදි හම්බවුණත් කතා කරලා විස්තර අහනවා. ඒ නිසා ඒ අය මට ආදරේ බව මට දැනෙනවා. ඒ වගේම මං හිතනවා ඒ වගේ ආදරයක් ලබන්න මම වාසනාවන්තයි කියලා.
මංජුලා ආඩම්බරයි කියන්නේ ඇත්තද?
මම නම් ඒ කතාව පිළිගන්නේ නැහැ. කොහේදී හම්බවුණත් මට කතා කරන ඕන කෙනෙකුට මම කතා කරනවා.
මංජුලා රඟපෑමෙන් ඈත් වෙනවට සැමියා කැමැති වුණාද?
මගේ රඟපෑම්වලටත් මගේ නිෂ්පාදන කටයුතුවලටත් එයා ගොඩක් උදව් කළා. ඒ හැම දේකදිම මාත් එක්කම හිටියා මට රඟපාන්න කියලවත් රඟපාන්න එපා කියලවත් එයා කියලා නැහැ. මොකද මම කරන්නෙ මට ගැළපෙන හොඳ දේ බව එයා දන්නවා.
පසුගිය කා‍ලේ මංජුලාට නිර්මාණවලට කතාකළේම නැද්ද?
ගොඩක් නිර්මාණවලට කතා කළා. ඒ හැම එකකටම ගියා නම් දැන් විකාශය වන ගොඩක් ටෙලිනාට්‍යවල මං ඉන්නවා. හැමදාම හැම නිර්මාණයකටම ඉන්න ඕන කියලා ලොකුකමක්වත් මමත්වයක්වත් මට නැහැ.
ඉදිරියේදීවත් මංජුලා රඟපෑමකට යන්නේ නැද්ද?
මම මාස එකොළහකට පස්සේ ටිකක් වෙනස් විදිහේ හොඳ නිර්මාණයකට දායක වුණා. ඒක ඉදිරියේදී විකාශය වේවි.
(උපුටා ගැනීම රිවිර පුවත්පත)




No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.