ඉන්ටෙක් තාක්ෂණයෙන් ව්‍යාජ මුදල් මුද්‍රණයකර
රටපුරා හොර සල්ලි බෙදූ මහ මොළකරු අත්අඩංගුවට
රු: 500, 1000, 2000, 5000 ව්‍යාජ නෝට්ටු රටපුරා විසිරිලා
මෙයට පෙර සිවුවතාවක් රහස් පොලිසියට කොටුවෙලා
ගණිත ගුරා ගෝලයෝ දෙදෙනකු සමඟ මාලඹේ දී දැලේ
සැකකරුගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි ගණන්
දිය සලකුණ, සිංහ කඩුව, අප්සරා, ලියවැල නොමැත
ඇප නොදෙන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලයි
සමස්ත රටපුරාම විසිරුණු දැවැන්ත ව්‍යාජ මුදල් ජාවාරමක සුලමුල හෙළිකරගත් රහස් පොලිසිය එම මුදල් ජාවාරමේ මහ මොළකරු ඇතුළු දෙදෙනෙක් පෙරේදා මාලඹේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඔහු විසින් මුද්‍රණය කරන ලද සහ මුද්‍රණය කිරීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 70ක දෙදාහේ නෝට්ටු අති විශාල ප්‍රමාණයක් ද සොයාගෙන තිබේ.
ගණිතය උගන්වන පෞද්ගලික ටියුෂන් ගුරුවරයකු වූ දිමුතු නුවන් කුමාර නමැති මේ ප්‍රධාන ජාවාරම්කරුවා මීගොඩ ප්‍රදේශයේ පදිංචි
අයෙකි. 32 හැවිරිදි මොහු අධ්‍යාපනික වශයෙන්ද උගත් පුද්ගලයෙකි.
සැකකරු අත්අඩංගුවට ගන්නාවිට මාලඹේ, පොතුඅරාව ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන එහි මුදල් මුද්‍රණය කරගෙන ගොස් තිබේ. ඊට අමතරව මහනුවර, අනුරාධපුර, මොනරාගල, ඇඹිලිපිටිය, අඟුණකොලපැලැස්ස, රත්නපුර ප්රදේශවලද තැනින් තැන නැවතී මුදල් මුද්‍රණය කර තිබෙන බව විමර්ශනවල දී අනාවරණයවී ඇත.
මොහු විසින්ම අධ්‍යයනය කර පරිගණක තාක්ෂණය හරහා ඔහු විසින් මුද්‍රණ යන්ත්‍ර සකසාගෙන ඉතාමත් සූක්ෂම ක්‍රම යොදාගනිමින් සූක්ෂම ලෙස මුදල් මුද්‍රණය කිරීම සිදුකර ඇති අතර මුදල් මුද්‍රණය කිරීමට අවශ්‍ය කඩදාසි මැලිබන් වීදියේ කඩදාසි අලෙවිසලකින් මිලදී ගත් ඒවා වෙයි.
මේ සැකකරු දැනට ව්‍යාජ මුදල් මුද්‍රණයේ අංක එකට සිටින පුද්ගලයා බවටද රහස් පොලිසිය මඟින් සොයාගෙන ඇති අතර, මොහු ඒ සඳහා යොදාගෙන ඇත්තේ ඉන්ටෙක් නමැති තාක්ෂණ ක්‍රමය වෙයි.
මොහු මීට පෙර ව්‍යාජ මුදල් මුද්‍රණය කර සිවුවතාවක් රහස් පොලිසියට හසුවී ඇත. ඇප ලබා සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති අතර වරෙන්තු 4ක් ද තිබේ. මොහුට ඇපවී ඇත්තේ අලුත්කඩේදී මුදලට ඇප දෙන පුද්ගලයෝ වෙති.
මෙම සැකකරු මුද්‍රණය කළ මුදල් මේ වනවිට රටපුරා විසිරී තිබේ. මෙවර දෙදාහේ මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇත. මීට පෙර ඔහු රුපියල් 500, 1000, 5000 නෝට්ටුද මුද්‍රණය කර තිබේ.
ව්‍යෘජ මුදල් මුද්‍රණය කර ලබාගත් මුදල්වලින් මොහු නමට ඇති බැංකු ගිණුම් ගණනාවක කෝටි ගණන් මුදල්වලින් පිරී ගොස් තිබේ.
සැකකරුට මේ මුදල් මුද්‍රණය කිරීමට තවත් කිහිප දෙනෙක් සහාය වී ඇත. අනියම් පවුල් 6ක් ඇති සැකකරු විසින් සකස් කර මුද්‍රණය කළ ව්‍යාජ හැඳුනුම්පත් කිහිපයක්ද භාවිතා කරයි.
මේ සැකකරු ගැවසුන තැන්, ඇසුරු කළ පිරිස්, ගනුදෙනු කළ ස්ථාන පිළිබඳ තොරතුරු වෙතොත් වහාම ළඟම ඇති පොලිසියට හෝ රහස් පොලිසියට දැනුම් දෙන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියි.
මේ ජාවාරම්කරු මෙවර මුද්‍රණය කළ රුපියල් දෙදාහේ නෝට්ටුවල සඳහන්ව ඇත්තේ p 67799159 දරන අංකයයි.
එම නෝට්ටු හඳුනාගැනීමට නම් ව්‍යාජ මුදල් නෝට්ටුවක ඇති ලක්ෂණ මොනවාද යන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය.
ඒ අනුව ව්‍යාජ දෙදාහේ කොළයේ දාර අතගෑමේදී අතට රළුවට දැනේ. ව්‍යාජ කොළයේ එවැනි දාර නොමැත.
දෙවැනි ලක්ෂණය නම් දෙදාහ කොළයේ සිංහයකු සහිත දිය සලකුණේ සිංහයාගේ කඩුව පැහැදිලිව දක්නට ඇත. ව්‍යාජ කොළයේ එම කඩුව පැහැදිලිව නොපෙනේ.
දෙදාහේ කොළයේ දාරවල ඉතා කුඩාවට 2000 යනුවෙන් සඳහන්ව තිබීම, CENTRAL BANK යනුවෙන් සඳහන්ව තිබේ. සීගිරි අප්සරාව, රන්පැහැති ලියවැල ව්‍යාජ නෝට්ටුවල නොමැත. මුදල් ගනුදෙනුවලද මේ ලක්ෂණ නොමැති නෝට්ටුවක් ලැබුණොත් දුරකතන අංක 011 2326670 හෝ 071 8931932 දන්වන ලෙස රහස් පොලිසිය පවසයි.
මෙම ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය පෙරේදා (27) මාලඹේ ප්‍රදේශයම වටලා තිබේ.
ඔහු අත්අඩංගුවට ගැනීමත් සමඟ නැවත පලාගොස් ඇත. පැය හයක් පුරා ඔහු සොයා මෙහෙයුම් කිරීමෙන් පසු නැවත අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ නිවෙසක වහලේ සැඟවී සිටියදීය.
මේ සැකකරුට ඇප පනත යටතේ නඩු අවසන් වනතෙක් ඇප නොදීමට රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක්ද කිරීමට යයි.
රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී මතුරට මහත්වරුන්ගේ උපදෙස් මත ව්‍යාජ මුදල් අංශය භාර සහකාර පොලිස් අධිකාරී පී. අම්පාවිල මහතා සහ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින්ද ප්‍රියදර්ශන මහත්වරුන්ගේ අධීක්ෂණය සහ සහභාගීත්වය යටතේ වැටලීම සිදුකෙරුණි.
(උපුටා ගැනීම - දිනමිණ පුවත්පත)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.