2013-10-19

ගැලපෙන කෙනෙක් හමුවන තුරු ඉන්නවා -

‘අත්තම්මා’ ටෙලි නාට්‍යයේ සාරදි මේ වනවිට සැබෑම සොඳුරු රුවැත්තියක්. අපට එතරම් හුරුපුරුදු නැති වුණත් ඇය නමින් උදාරි කෞශල්‍යා උදයකුමාර්. සාරදි ලෙසින් ඔබ හමුවට එන උදාරිගේ අලුත් තොරතුරු දැන ගන්න මෙවර අප ඇයව එකතු කරගත්තා.
සාරදිත් එක්ක උදාරි කාර්යබහුල චරිතයක් වෙලා නේද?
හැබැයි ගොඩක්ම කාර්යබහුල නෑ. අත්තම්මා නාට්‍යයේ විතරක් රංගනයෙන් දායක වෙලා ඉන්න නිසා වැඩ ගොඩගැහිලා නෑ.
මේ ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
මුලින්ම මේ ක්ෂේත්‍රයට එකතු වුණේ වෙළෙඳ දැන්වීම් හරහා. ඊට පස්සේ ගීතවල රූප රචනාවලට දායකත්වය දෙන්න අවස්ථාව ලැබුණා. පත්තරේ ගිය මගේ ඡායාරූප වගයක් දැකලා තමයි අත්තම්මා ටෙලි නාට්‍යයේ නිෂ්පාදකතුමා වන ජානක සිරිවර්ධන මහත්මයා මට අත්තම්මා ටෙලි නාට්‍යයට රඟපාන්න ආරාධනා කරන්නේ. ඒ ආරාධනය පිළිගෙන මම සම්මුඛ පරීක්ෂණවලට සහභාගි වුණා. මාව සාරදිගේ චරිතයට තෝරා ගැනුණේ ඒ විදිහට.
අත්තම්මා ටෙලි නාට්‍යයේ සාරදිගේ චරිතය ලැබිම ගැන මොකද හිතන්නේ?
මම මුලින්ම හිතුවේ නෑ මට සාරදි වගේ ගැමි චරිතයක් රඟපාන්න ලැබෙයි කියලා. ඒ චරිතය මට දෙනවා කිව්වහම මට ගොඩක්ම සතුටක් දැනුණා. මේක මගේ පළමු ටෙලි නාට්‍යය මේ වගේ ගැමි ළමයකුගේ චරිතයකට රංගනයෙන් දායක වීම ගැන මම ගොඩක්ම සතුටු වෙනවා.
උදාරිත් සැබෑ ජීවිතයේදීත් සාරදි වගේද?
මම චීත්ත  ගවුම් ඇඳලා කොණ්ඩ ගෙතුවේ නැති වුණාට මමත් සාරදි වගේ. මොකද සාරදි අසාධාරණය පෙන්වන්න බැරි අනුන්ට උදව් කරන චරිතයක්.
සාරදිට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන සතුටුයි.
මීට කලින් උදාරිට ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණේ නැද්ද?
ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබුණා. ඒත් ඒවා ප්‍රතික්ෂේප කරන්න වුණේ දෙමව්පියන් මුලින්ම මම රඟපානවාට අකැමැති වුණු නිසා.
නිළියක් වෙන්න වැඩියෙන්ම අවශ්‍ය වෙන්නේ ලස්සන විතරද?
ලස්සන කියන්නේ අපට ලැබෙන ආභරණයක් විතරයි. ගොඩක් වටින්නේ දක්ෂතාව. රූපෙට වඩා රංගනයට දක්ෂ නම් දිගු කාලයක් මේ ක්ෂේත්‍රයේ ඉන්න පුළුවන්.
කොහොමද ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය?
අත්තම්මා ටෙලි නාට්‍යයේ නිෂ්පාදක ජානක සිරිවර්ධන මහත්මයා, අධ්‍යක්ෂ තිළිණ බොරලැස්ගමුව මහතා, සහාය අධ්‍යක්ෂ ප්‍රදීප් මානවඩුගේ ඇතුළු අරුණි සිල්වා, මාගේ ආදරණීය දෙමව්පියන්, හිත මිත්‍රයින් සහ ආදරණීය ප්‍රේක්ෂකයන් මේ වෙලාවේදී විශේෂයෙන් මතක් කරන්න කැමැතියි.දුලීකා මාරපන මහත්මියගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. මගේ වැරදි, අඩුපාඩු කියලා දුන්නා. උපදෙස් දුන්නා. මම මගේ අඩුපාඩු කියලා දෙනවාට ගොඩක්ම කැමැතියි. අත්තම්මා නාට්‍යයේ හැමෝම වගේ මට ලොකු සහයෝගයක් දුන්නා.
දෙමව්පියන්ගෙන් ලැබෙන සහයෝගය ගැන මොකද හිතන්නේ?
මුලින්ම මගේ අම්මයි, තාත්තයි කැමැති වුණෙන් නැහැ මම රඟපානවාට. ඒත් පස්සේ මම අත්තම්මා ටෙලි නාට්‍යයේ සාරදි චරිතයට රඟපානවාට කැමැති වුණා. ඒ අය තමයි මගේ සෙවණැල්ල වගේ මගේ ළඟින්ම ඉන්නේ. මම ෂූටින්වලට යනකොටත් මගේ අප්පච්චියි, අම්මයි එනවා. හැම දෙයක්ම මම පටන් ගන්නේ ඒ දෙන්නාගෙන් අවසර අරගෙන.ඒ අය මට මේ කේෂ්ත්‍රයේ ඉන්න ඕන විදිහ වගේම නංගිට, මල්ලිට ආදර්ශයක් වෙන විදිහට ජීවත් වෙන්න කියලා හැමදාම කියන දෙයක්. ඒ වගේම අධ්‍යාපනයට මුල්තැන දෙන්න කියලා කියනවා.
උසස් අධ්‍යාපනික වැඩකටයුතුත් එක්ක කොහොමද රංගන කටයුතු සමබරව කරගෙන යන්නේ?
මම කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යාවක් විදිහට අධ්‍යාපනය හදාරනවා. මට විතරක් නෙවේ අපි හැමෝටම අවශ්‍යතාවයි, වුවමනාවයි, උනන්දුවයි තියෙනවා නම් මොන දේ වුණත් සාර්ථකව කරන්න පුළුවන්. ඒ වගේම කාලය හරියට කළමනාකරණය කළොත් අපට අපේ වැඩ ප්‍රශ්නයක් නැතිව කරගන්න පුළුවන්.
මේ හැමදේටම අමතරව ඔබ නිවේදිකාවක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක්?
මම මේ දවස්වල දෙරණ ටී.වී. ආයතනයේ නිවේදිකාවක් විදිහට වැඩ කරනවා. ඒ වගේම ‍පොඩි කා‍ලේ ඉඳන්ම මම නර්තනයට වගේම ගායනයටත් ගොඩක් දක්ෂයි. පාසල් කා‍ලේ මම මුද්‍රා නාට්‍ය නර්තන තරගවලින් ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ඒ වගේම 2013 විශ්ව විද්‍යාල අතර පවත්වපු ‘විධාන සංස්කෘතික උළෙ‍ලේ’ කොළඹ විශ්ව විද්‍යාල නියෝජනය කරමින් මම  තමයි නර්තන අංශයෙන් විශේෂාංග දෙකකින් ප්‍රථම ස්ථානය දිනාගත්තේ.
පුද්ගලික තොරතුරු ගැන මතක් කළොත්?
මම පාසල් ගියේ කොළඹ මියුසියස් විද්‍යාලයට. පදිංචිවෙලා ඉන්නේ කොළඹ 13 කොටහේන ප්‍රදේශයේ. මගේ අම්මා ජෙනිටා ප්‍රියංගනී. ඇය ශ්‍රී ලාංකික කාන්තාවක්. තාත්තා චන්ද්‍රසේකර උදයකුමාර්. ඔහු ඉන්දියානුවෙක්. මට මල්ලියෙකුයි, නංගියෙකුයි ඉන්නවා.
පවු‍ලේ අයට අමතරව ඔබ ගැන විශේෂයෙන් හොයලා බලන්න කෙනෙක් ඉන්නවාද?
එහෙම කෙනෙක් නැහැ. ගැළපෙන කෙනෙක් හමුවනතුරු ඉන්නවා.
මොන වගේ කෙනෙක්ද උදාරි හොයන්නේ?
මට ගැළපෙන ගොඩක්ම අවංක, හොඳ ගතිගුණ තියෙන, හිත හොඳ කෙනෙක් තමයි මම හොයන්නේ. මොකද අද ගොඩක්ම ඉන්නේ ආදරෙයි කියලා වංචා කරන අය.
මොනවාද අනාගත බලා‍පොරොත්තු?
අධ්‍යාපන වැඩයි අනෙක් වැඩකටයුතුයි සමබරව පවත්වාගෙන යන්න තමයි මගේ එකම බලා‍පොරොත්තුව.

තිළිණි මධුවන්ති
උපුටා ගැනීම - රිවිසරසි පුවත් අතිරේකය














No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.