2013-11-18

පොදුරද මඩුලු සමුළුව සාර්ථකව අවසන්

පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් පසුගිය 15 වැනි දින ආරම්භ වූ 22 වැනි සමුළුව ඊයේ (17 වැනිදා) සාර්ථකව නිමාවට පත්විය. එම සමුළුවේදී සාකච්ඡාවට බඳුන් වූ කරුණු හා එහි තීරණ දැනුම්දීම සඳහා බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (17 වැනිදා) පස්‌වරුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවත් සමඟ සමුළුවේ කටයුතු නිමා විය. පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ඉකුත් 10 වැනි දින හම්බන්තොට මාගම් රුහුණුපුර සම්මන්ත්‍රණ ශාලාවේදී ඇරැඹි තරුණ සමුළුව සහ ජනතා සමුළුවත් සමඟ පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සැසි වාරය ආරම්භ කෙරිණි. ඊයේ (17 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී කරුණු 98 ක්‌ සහිත රාජ්‍ය නායකයන්ගේ ඒකාබද්ධ නිවේදනය ප්‍රකාශයට පත්කෙරිණි.
මෙහිදී දේශගුණික විපර්යාස, සෞඛ්‍ය, අධ්‍යාපනය, සමාජ සංවර්ධනය, මානව අයිතීන්, ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන, අදහස්‌ ප්‍රකාශ කිරීමේ නිදහස, ආගමික නිදහස, ත්‍රස්‌තවාදය, ගෝලීය අභියෝග, ලිංගික හිංසනය හා ආයුධ සන්නද්ධ ගැටුම් යනාදී කරුණු 98 ක්‌ කෙරෙහි රාජ්‍ය නායක සැසියන්හිදී සාකච්ඡාවට බඳුන් විය. සමුළුවට සහභාගි වූ බොහෝ රාජ්‍ය නායකයෝ ඊයේ (17 වැනිදා) දිවයිනෙන් පිටත්ව ගොස්‌ තිබිණි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.