2013-11-01

මේ මගේ FIRST AND LAST රියැලටි ෂෝ එක - සුරාජ් මාපා

සුරාජ් ගැන එස්. එම්. එස්. පණිවිඩය ඔබටත් ආවාද?
මම එස්. එම්. එස්වලට බය නැහැ
මම ප්‍රදීපාගාරය පාමුලට වී මුහුද දෙස බලා හිඳිමි. තඹ පැහැති මළානිත හිරු කෙඳිති සිඳු දියවර මත වෑස්සෙන ගොම්මනයි මේ. වියළි මුහුදු සුළං රැළින් ඒ මේ අත වැනෙන තුරු වියන හැන්දෑවේ සෞම්‍ය පිනි පලස තම හිස මත අතුරා ගැනීමේ සුබදායක සූදානමිනි. අහසත් මුහුදත් ගෑවෙනා සේ පෙනෙන තැන මට බොහෝ දුරය. ඉඳහිට මඟ වැරැදී පියාඹන මුහුදු ලිහිණියා ගොම්මන් අඳුරේ තම තනිකඩ හැඟීම් රිසි සේ විඳියි.
තව නොබෝ වේලාවකින් නියත වශයෙන්ම ඔහු පැමිණෙයි. ඔහු පැමිණෙන තෙක් මම තනිව අතීත මතක අතරට යමි. සැබෑවටම මට ඉහළින් බ්‍රමණය වෙමින් දසත එළි කරන ප්‍රදීපාගාරය සේ ඔහු මෑත යුගයේ කලා ලොව එළිය කළේය. ප්‍රදීපාගාරයක් තරමට සලකුණක් වූ හෙතෙම ප්‍රදීපාගාරයක් තරමට කඩවසම් මෙන්ම ප්‍රතාපවත් වූයේය.
දැන් වියපත් ඉර කැරලි සඳ කෙමිවලට ඉඩ දී සිඳු දියමතින් නික්ම යාමට ආසන්නය. රළ මත පෙළ ගැසී පෙරළෙන සඳ කෙඳිති සිඳු දියවර මත නර්තනයකය. සැබෑවටම ඒ නර්තනය තරමට ඔහුගේ නර්තනය ද සෞම්‍යය.
සුරාජ් මාපා.
මා බලා හිඳින්නේ ඔහු එන තෙක්ය. ඔහු පැමිණෙන්නේ ළෙන්ගතුකම මෙන්ම කතා කරන්නට බොහෝ දේ ද රැගෙනය. චිත්‍රපට ගැන, ටෙලි නාට්‍ය ගැන, ලෝකයේ විවිධ රංගන හා නර්තන ක්‍රමවේද ගැන මෙන්ම ලෝක ඉතිහාසය ගැන ද ඔහු යාවත්කාලීන වන ගවේශකයෙකි. ඉතිං ඔබත් එන්න මමත් එක්ක,අපි සුරාජ් මාපා ගේ යෞවන හිත කියවමු.
සුරාජ් ටිකක් මහන්සි පාටයි?
ඔව්. මේ දවස්වල ඉතාමත් වෙහෙසීමෙන් පුහුණුවීම්වල යෙදෙනවා. දෙරණ සිටි ඔෆ් ඩාන්ස් තරගාවලියේ අවසානය අබියසයි අප ඉන්නේ. ප්‍රේක්ෂක ජනතාවට ඉතාමත් හොඳ දේ ලබා දෙන්නට නම් වෙහෙස මහන්සි විය යුතුමයි. මොකද ප්‍රේක්ෂකයෙක් තිරය ඉදිරියේ ඉඳගන්නේ අපේ උපරිම දක්ෂතා බලන්න ආසාවෙන්. ඒ අයට බොරු කරලා මොන දේ ලැබුණත් වැඩක් නැහැ. ඒ නිසා මේ දවස්වල දිවා රෑ නොබලා පුහුණුවීම් කරනවා. ඒ පුහුණුවීම් හරහා ප්‍රේක්ෂකයාට අතිශය අලංකාර දේ දෙන්නට හැකි වේවි.
සුරාජ් ඇයි රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වුණේ?
මෙහෙමයි . . . තරු වෙනුවෙන් පැවැත්වුණු රියැලිටි වැඩසටහන් සියල්ලටම පාහේ මට ආරාධනා ලැබුණා. ඒත් මා ඒ ඇරැයුම් බාර ගත්තේ නැහැ. ඒ් වගේම විශාල මූල්‍ය වටිනාකම්වලටත් මට ආරාධනා ලැබුණා. ඒ වෙලාවේ මං ඒ ආරාධනා ඉතා නිහතමානීව ප්‍රතික්ෂේප කළා. නමුත් මේ තරගයට ආරාධනා කරද්දී රියැලිටි වැඩ සටහනකට සහභාගීවෙන්න ඕනෑ කියන තීරණයේ තමයි මං හිටියේ. ඒ නිසා මේ තරගයට සහභාගි වුණා.
ඒ කියන්නේ අනෙක් තරගවලට වඩා මේ තරගයේ හොඳ මිලක් ලැබුණද?
අනේ නැහැ. මං කවදාවත් කලාව සල්ලිවලට විකුණපු කෙනෙක් නෙවෙයි. ඒ බව මට ආදරේ හැමෝම දන්නවා. මේ තරගයේ මුලදී එස්. එම්. එස්. මනාප පොරය තිබුණේ නැහැ. ඒ නිසා තරගය ගැන හොඳ විශ්වාසයක් ගොඩ නැඟුණා. ඒ වගේම හොඳ විනිශ්චය මණ්ඩලයක් තමයි මේ තරගයට තෝරා ගෙන තිබුණේ.
මුදල නෙවෙයි මට වුවමනා වෙලා තිබුණේ. හැමදාම ළෙන්ගතු ප්‍රේක්ෂකයාට දක්ෂතා පෙන්වන්නටයි. මේ තමයි ඊට හොඳම කාලය. මා දන්නා තරමින් ලැබෙන යහපත් ප්‍රතිචාර අනුව මගේ තීරණය හැම දෙනාම අනුමත කරලා තිබෙන වග දැනෙනවා.
මං බාරගත්ත දේ හරියට කරලා අවසානයට පැමිණෙන්න ලැබීම ගැන සතුටුයි.
දැන් සුරාජ් රියැලිටිකරණයට ලක්වෙලා ඉවරයි. ඊට පස්සේ තවත් නර්තනය සම්බන්ධ තරගයකට කතා කළොත්?
නෑ . . . මේක මගේ ෆස්ට් ඇන්ඩ් ලාස්ට්.
දැන් මේ තරගයට එස්. එම්. එස්. එකතු වෙලානෙ සුරාජ්?
ඔව්. තරගවල ස්වභාවය දිනෙන් දින වෙනස් වෙනවා. ඒ තමයි රිලයැලිටි ආකෘතියේ හැටි. මම වසර දෙකක් සුමති සහ රයිගම් සම්මාන උළෙලවල ජනප්‍රිය නළුවා බවට පත් වුණා. ඒ කිරුළ මට ලැබුණේ ජනතාවගේ ආදරය නිසාමයි. ඒ නිසා එස් එම්. එස් වලට මං බය නැහැ. ජනතාව මාව තැබිය යුතු තැන තීරණය කරාවි. මේක මගේ ෆස්ට් ඇන්ඩ් ලාස්ට් රියැලිටි තරගය.
සුරාජ් නැටුම ප්‍රගුණ කළ කෙනෙක්?
ඔව්. මං ලෝකයේ පැරැණි සහ නවීනතම නර්තන ගැන හොඳ අවබෝධයකින් පසුවෙනවා. ඒ වගේම නිරතුරුවම මං ඒ විෂය හරියට හදාරන කෙනෙක්. නමුත් සුරාජ් මාපා කියන රංගන ශිල්පියා හා නර්තන ශිල්පියා සිල්ලරට විකුණන්න මං කැමැති නැහැ. ඒ නිසා තමයි දිගු හැදැරීම් කරමින් ප්‍රේක්ෂකයාට උපරිම දේ ලබා දෙන්නේ.
සුරාජ් දැන් වැඩිය දකින්න නැහැ. කැපිල්ලක් එහෙම තියෙනවාද?
අපෝ නැහැ. දැනුවත්ව කවුරුත් මට තරහාකාරයෝ නැහැ. ඒ හින්ද කැපිල්ලක් තියෙනවා කියලා මං හිතන්නේ නැහැ. ලැබෙන හැම වැඩේම බදාගෙන තුන්සිය හැටපස් දවසෙම ටී. වී එකේ ඉන්න මං ආස නැහැ. මේ දවස්වල තරුමලී, සිහින සින්ඩරෙල්ලා සහ මකුළු දැල කියන නාට්‍ය ත්‍රිත්වයේ රඟපෑම් කටයුතුවල නියැළෙනවා. දොඩං ගොඩ බදා ගත්ත වගේ හැම දේම බදා ගන්නවාට වඩා පැවරෙන එක රාජකාරිය හරි හරියට කරන්නයි මං කැමැති.
ඔබට තරහකාරයෝ නැහැ කියලා විශ්වාසද?
ඔව්. මං කාටවත් වැරැදි කරන්නේ නැහැ. ඒ නිසා මට කොයින්ද තරහකාරයෝ.
එහෙනම් ඔබට බැණ වදිමින් කෙටි පණිවිඩ ප්‍රචාරණයක් දියත් වන්නේ කොහොමද?
මට අමානුෂික ලෙස බැණ වදිමින් එස්. එම්. එස්. පණිවුඩ කිහිපයක් ක්ෂේත්‍රයේ අයගේ ජංගම දුරකථනවලට යැවීමේ වැඩ පිළිවෙළක් ගැන දැනගන්නට ලැබුණා. මටත් ඒ පණිවුඩය ආවා. බොරු චෝදනා ගොඩක්. දන්න අය දන්නවා මං ගැන.
ඒ කියන්නේ ඔබට තරහකාරයෝ ඉන්නවා?
දැනුවත්ව නම් නැහැ. ඒත් නොදැනුවත්ව ඉඳල තියෙනවා. මගේ තරග විලාශය බලා ඉන්න බැරි අයගේ සැලසුමක් වෙන්නටත් පුළුවන්. මේ හැම දේම මාව දිරිගන්වනවා.
ඇතැමුන් පවසන්නේ නැසීගෙන යන ජනප්‍රියත්වය සහ කාන්තිය යළි ඔප් නංවා ගන්නට ඔබ රියැලිටි තරගයකට සහභාගි වුණා කියලයි?
නැහැ. කවදාවත් මගේ ජනප්‍රියත්වය අඩු වුණේ නැහැ. ඒ නිසා මට රියැලිටි වැඩ සටහනකට සම්බන්ධ වෙලා හදාගන්න දෙයක් නැහැ. සුරාජ් මාපා කියන්නේ කවුද කියලා මේ රටේ මිනිස්සු දන්නවා.
අවසාන වටයේ සිටින පරිනතම සහ දීප්තිමත්ම තාරකාව ඔබ . . .
 මං මේ තරගයට ආවේ ජනප්‍රියත්වය පැත්තක තියලා. රියැලිටි තරග අත්දැකීම ලංකාවේ රසිකයන්ට දැන් හොඳට හුරුයි. එතනදි මිනිස්සු බලන්නේ කවුද කියන එකට වඩා කොච්චර දක්ෂද කියන එකයි.
ඔබ හොඳීන්ම චිත්‍රපට පිළිබඳ අධ්‍යයනයක යෙදෙන කෙනෙක්. නමුත් තවම ඔබට හොඳ චිත්‍රපටයක් ලැබුණෙ නෑ කියලා කිව්වොත්?
සිකුරු හතේ, උත්තරා සහ සුසීමා චිත්‍රපටවලට මම රංගන දායකත්වය ලබා දුන්නා. නමුත් මගේ උපරිම දක්ෂතාව පෙන්වන්නට පුළුවන් චරිතයක් තවම ලැබුණේ නෑ කියන කතාවට මමත් එකඟයි.
ඔබ තුළ ජීවත්වුණු ටෙලි නිෂ්පාදකවරයාට මොකද වුණේ?
තාවකාලිකව මම ඒ කටයුත්තට විරාමයක් තිබ්බා. නමුත් ඉදිරියේදී හොඳ ටෙලි නාට්‍යයක් සඳහා නිෂ්පාදනයෙන් දායක වෙන්න සූදානමක් තිබෙනවා. අපි කරන දේ සමාජයට වැඩදායී දෙයක් විය යුතුයි. වානිජ පරමාර්ථයෙන්ම නිෂ්පාදන කටයුත්තකට අත තියන්න මට හිත දෙන්නේ නැහැ. නිෂ්පාදන කටයුත්ත වානිජ පරමාර්ථයක් තමයි. නමුත් ඒක අර්ථවත් විය යුතුයි කියලා මම තීරණය කරලා තියෙනවා.
මෙම තරගයේ නර්තන සහකාරිය ගැන කතා කරමු?
ඇය ඉමල්ෂා මදුශානි. සිටි ඔෆ් ඩාන්ස් තරගාවලියේ කැපී පෙනෙන දක්ෂකම් පෙන්වා ජයග්‍රහණ ලැබූ කෙනෙක්. ඇගේ සහයෝගය මට ඉතාමත් වටිනවා.
නර්තනයට හොඳ සහකාරියක් සොයා ගත්තා වගේ ජීවිතයට සහකාරියක් සොයාගන්න අදහසක් නැද්ද?
තියෙනවා. ලබන වසරේ හොඳ කෙනෙක් ලැබුණොත් මම විවාහ වෙනවා.
හොද කෙනෙක් කිව්වේ?
මාව තේරුම් ගත්ත නිහතමානි කෙනෙක්.
ඔබ ගැන විවිධ කටකතා පැතිරුණා. විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතා ගැන?
ඔව්. නිළියන් දෙදෙනකු සමඟ මගේ සම්බන්ධතා තිබුණා. ඒවා කට කතා බවට පත්වුණා. නමුත් වසර 4 ක ඉඳලා මං එහෙම කිසිම සබඳතාවක් ගොඩනඟා ගත්තේ නැහැ. ඒ නිසා මට කටකතා හැදුණෙත් නැහැ. සබඳතා ඇති වෙනවා, නැති වෙනවා. ඒත් ඒ හැදුණ කටකතා කාලයක් යනකං පවතිනවා.
ඔබ විවාහ වෙන්න කැමැති නිළියක් සමඟ කියලා ආරංචියි?
නැහැ. මං කවදාවත් නිළියක් විවාහ කර ගන්නේ නැහැ.
ලබන වසරේ ලොකුම බලාපොරොත්තුව විවාහයද?
නැහැ. මගේ රසිකයෝ හැමෝම දකින හමුවන හැම විටම ඉල්ලීමක් කරනවා නර්තන ප්‍රසංගයක් පවත්වන්න කියලා. ලබන වසරේ ඒ ඉල්ලීම ඉටු කරන්නට මං උපරිම ලෙස කැප වෙනවා. මේ තරගය ඊටත් හොඳ ජවයක් මට ලබා දුන්නා. ප්‍රේක්ෂකයනුත් එහෙමයි. මගේ නර්තන දක්ෂතා මේ තරගය හරහා දැකලා මගේ ජවය ඔවුන්ගේ සවියෙන් පෝෂණය කළා. ඒ නිසා ලබන වසරේ හොඳ ජාත්‍යන්තර මට්ටමේ නර්තන ප්‍රසංගයක් පවත්වන්නට සැලසුමක් තිබෙනවා.
එතකොට රඟපෑම ගැන බලාපොරොත්තු නැද්ද?
තිබෙනවා. මං හැම දේම ලබා ගත්තේ මහන්සියෙන්. ඒ ලබාගත්ත හැමදේම වගේම මට ලැබුණු හැම දේටමත් මං උපරිම සාධාරණය ඉටු කළා. ඒ නිසා මහන්සියෙන් හදා ගත්ත කිසිම දෙයක් නැති කර ගන්න අදහසක් නැහැ.
මේ කතා බහේ අවසානයේ අපි ඉන්නේ?
මේ වෙලාවේ මට උදවු කළ හැමෝටම ස්තුතිවන්ත විය යුතුයි. මේ ගමන ආවේ කැපවීමෙන්. ඒ කැපවීමට ප්‍රේක්ෂකයෝ උපරිම වටිනාකමක් ලබා දුන්නා. මේ තරගයේදීත් ප්‍රේක්ෂකයා මාව තියන්න ඕනෑ කොතැනද කියලා තීරණය කරාවි. හැමෝගෙම ආශිර්වාදය, ශක්තිය, ප්‍රාර්ථනාව තමයි සුරාජ් මාපා කියන චරිතය නිර්මාණය කළේ. මං අයිති මට නොවේ. මාව මෙතනට ගෙනාව හැමෝටමයි.
ආයෙමත් ප්‍රදීපාගාරයේ ශ්වේත එළි දහරාව කළු පැහැයෙන් දිදුලන සිඳු දියවරට වැටුණා. සුළඟේ හඬ ඇසෙන තරමටම පරිසරය නිහඬයි.
සුරාජ් අපි ආයෙ දවසක හමුවෙමු.
නිහඬතාවට ඉඩදී අපි තාවකාලිකව සමුගැනීම සටහන් කළා.
උපුටා ගැනීම - සරසවිය පුවත්පත

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.