2014-02-15

නදීශානිගේ නිවසේ ජල ටැංකියට වස දාලා

නිවසක සවි කර තිබූ ජල ටැංකියකට වස මිශ්‍ර කර මිනිස් ඝාතනයක් සිදු කිරීමට උත්සාහ කළ බව කියන අයෙකු අත්අඩංගුවට ගැනී සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව මාරවිල පොලීසිය පවසනවා. 
තම නිවසේ සවි කර ඇති ජල ටැංකියට කිසියම් අයෙකු විසින් වස මිශ්‍ර කර ඇති බවට තොඩුවාව, වෙරළ පාර පදිංචි මිරිස්සගේ නදීශානි පෙරේරා යන අය විසින් පොලීසියට කර ඇති පැමිණිල්ල මත මෙම පරීක්ෂණය ආරම්භ කර තිබෙනවා. 
පසුගිය 13 වැනිදා රාත්‍රී කාලයේ මෙම වස කළවම් කිරීම සිදු කර ඇති බවට සැකකරන බවද පැමිණිලිකාරිය පොලීසියට පවසා තිබෙනවා. තම නිවසේ පානීය අවශ්‍යතා සඳහා මෙන්ම සෙසු කටයුතු සඳහා පාවිච්චියට ගන්නේ මෙම ටැංකියෙන් ලබාගන්නා ජලය බවත්, ජලයේ පැහැය වෙනස් වී දුඟදක් හැමීම නිසා ජලයට වස මිශ්‍ර කර ඇති බවට හඳුනා ගත්තේ යැයි ද පැමිණිලිකාරිය පොලීසියට පවසා තිබෙනවා. 
ඒ අනුව අදාළ ටැංකියේ තිබූ ජලයේ සාම්පල් ලබාගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. එම ජල සාම්පල් අධිකරණ නියෝගයක් ලබාගැනීමෙන් පසුව රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට කටයුතු කරන බව මාරවිල පොලීසිය පවසනවා. 
පැමිණිලිකාරියගේ අසල්වැසියකු විසින් වස මිශ්‍ර කිරීම සිදු කරන්නට ඇති බවට සැකකරන්නේ යැයි පොලීසිය පවසනවා. එම සැකකරු මීට පෙර අවස්ථාවකදී ද පැමිණිලිකාරියගේ නිවසට ගල් ගසා ඇයට හිරිහැර කර ඇති බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා. සැකකරු දැනට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් පොලීසිය පවසනවා. මාරවිල පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.