කුමාර් සංගක්කාර තමාගේ පරිණත බව නැවතත් ඉතා හොඳින් ප්‍රදර්ශනය කරමින් ඊයේ බංග්ලාදේශ පිලට එරෙහිව සුපිරි පිතිකරණයක නියැළීම මත ශ්‍රී ලංකා පිලට දෙවන එක්දින තරගයෙන් ලකුණු 61ක පහසු ජයක් හිමි විය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 6කට ලකුණු 289ක් රැස්කල අතර, පන්දුවාර 43කදී ලකුණු 228කට බංග්ලාදේශ ඉනිම සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.
බංග්ලාදේශ නායක මුස්ෆිකා රහීම් නායකත්වයේ ඉනිමක් ගොඩනගමින් ලකුණු 79ක් රැස්කල ද ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය. මාලිංග, සචිත්‍ර, තිසර හා අජන්ත මෙන්ඩිස් බංග්ලාදේශ පිලේ කඩුලු දෙක බැගින් බිද හෙලනු ලැබිය. කුමාර් සංගක්කාර තම එක්දින දිවියේ 17 වැනි ශතකය ලබා ගනිමින් විශාල ලකුණු පුවරුවකට ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගූ අතර තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබිය.
බංග්ලාදේශයේ මින්පූර්හි පැවැති මෙම තරගයේ නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය ලබා තම පිලට ප්‍රථමයෙන් පිතිකරණයට අවස්ථාව ලබා ගත් අතර, ආරම්භක පිතිකරු යුගලය ලෙස කුසල් ජනිත් පෙරේරා හා ටී. එම්. ඩිල්ෂාන්ට කණ්ඩායමේ ලකුණු ලැබිමේ ආරම්භය ශක්තිමත් කිරීමට අවස්ථාව ලබා දුන්හ. කෙසේ වුවත් මෙවර කුසල් ජනිත් පන්දු 7ක් තුළ 4 පහර දෙකකින් ලකුණු 8ක් ලබා සිටියදී දෙවන ඕවරයේදී රුබෙල් හුසේන් හමුවේ සම්සූර් රහමන්ට උඩ පන්දුවක් දීමෙන් දැවී ගියේය.
ඩිල්ෂාන් මෙම තරගයේ ද තමා එතරම් විශ්වාසයකින් පහර නොදන බව ඔප්පු කරමින් අඛණ්ඩව සිව්වැනිවරටත් ලකුණු 8කට දැවී ගියේ ප්‍රතිවාදී නායක මුෂ්ෆිකාර් රහීම් වෙතට රුබෙල් හුසේන්ට එරෙහිව උඩපන්දුවක් ලබා දෙමිනි. දිගින් දිගටම ඩිල්ෂාන් මෙම තරගාවලියේ අසාර්ථකවීම තුළ තවෛනි තරගයට යන විටදී ඩිල්ෂාන්ට තවත් වැඩි පීඩනයක් එල්ල වීම ද වැළැක්වීමට නොහැකි ය. උපනායක දිනේෂ් චන්දිමාල් නැවතත් ලකුණු 9කට දැවී යාම ද ශ්‍රී ලංකා පිලට පීඩනයක් විය.
කෙසේ වෙතත් ඊයේ ශ්‍රී ලංකා පිලේ බර කරට ගත් කුමාර් සංගක්කාර නවක ක්‍රීඩක අෂාන් ප්‍රියංජන සමග එකතුව මින්පූර් ක්‍රීඩාංගණයේ ප්‍රදර්ශනාත්මක පිති හරඹයක නිරත වීම විශේෂත්වයකි.
සංගා තම අර්ධ ශතකය පන්දු 52ක් තුළ හතරේ පහර 6ක් සමගින් සම්පූර්ණ කරනු ලැබූ අතර පන්දු 102ක් තුළ තම 17 වැනි එක් දින ශතකයට ළඟා වූයේ හතරේ පහර 9ක් සමගිනි. ඔහුට අනගි සහායක් ලබාදුන් අෂාන් ප්‍රියංජන තමා මුහුණ දුන් සිව්වැනි එක්දින තරගයේදී ඊයේ තම දෙවන අර්ධ ශතකයට ළඟා වූයේ හතරේ පහර 6ක් සමගින් පන්දු 85ක් ඇතුළත වීම වඩාත් වැදගත් වූයේ සංගාට අනෙක් අන්තයේ සිට නිබඳවම හොඳ සහායක පිතිකරුවකුගේ සේවය ලැබූ බැවිනි.
මේ අනුව සිව්වැනි කඩුල්ලට වඩාත්ම සාර්ථක සබඳතාවය ලෙස ලකුණු 114ක ප්‍රමාණයක් එක් කරනු ලැබූ සංගා - ප්‍රියංජන් දෙදෙනාගෙන් ප්‍රියංජන් අවසානයේ ෂකීබ් අල්හසන් හමුවේ ස්වීප් පහරකට යාමෙන් ලකුණු 60කට පන්දු 97ක් තුළ දැවී යාම අවාසනාවන්ත සිදුවීමකි. නායක ඇන්ජලෝ මැතිව්ස් සංගා සමග එක්ව තරගයේ 37 වන ඕවරයේ සිට ඉනිම ගොඩනැගීමේදී සංගා ලකුණු 128කට පන්දු 115ක් තුළ 4 පහර 14ක් ලබා සිටියදී අර්ෆත් සනී හමුවේ මහමුදුල්ලා රැකගත් උඩ පන්දුවක් නිසා 47වන ඕවරයේදී දැවී ගියේය.
මුල් තරගයේ වීරයා වූ තිසර පෙරේරා පන්දු 3කට පමණක් මුහුණ දෙමින් මෙම සංචාරයේ ප්‍රථමවරට ඊයේ ලකුණු නොලබාම දැවී ගියේ ඔහුගේ මුල් ඉනිම තුනම නොදැවී සිටීමෙන් පසුවය.
මැතිව්ස් අවසන් ඕවරය දක්වා රැඳී සිටිමන් නොදැවී ලකුණු 56ක් ලබා ගැනීම සිදුවූයේ පන්දු 39ක් තුළදීය. ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් අයත් වූ අතර, කිත්රුවන් විතානගේ පන්දු 9ක් තුළ ලකුණු 13ක් ලබා තිබුණි. රුබෙල් හුසේන් බංග්ලාදේශ පිලේ සාර්ථකම පන්දු යවන්නා ලෙස කඩුලු 3ක් ලැබුවද ඔහු ඕවර 10ට ලකුණු 76ක් ලබා දී තිබුණි. ඊයේ ශ්‍රී ලංකා පිලේ එකම වෙනස්කම ලෙස ආබාධයක් නිසා ඉවත්වූ නුවන් කුලසේකර වෙනුවට පිට දඟපන්දු යවන අජන්ත මෙන්ඩිස් කැඳවා තිබුණි. බංග්ලාදේශය වෙනුවෙන් අල් අමීන් හොසේන් වෙනුවට පළපුරුදු වේගපන්දු යවන්නා මෂ්රේෆ් මොර්තාසා කැඳවා තිබුණි.
දෙරට අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය ඩකාහිදී 22 (හෙට) ආරම්භ වීමට නියමිත අතර ඊට පසුව ආසියානු කුසලාන තරගාවලියට දෙරටම සහභාගි වීමට නියමිතව ඇත.
Source - Rivira News Paper

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.