2014-03-08

මගීන් 239ක් සමග මැලේසියානු ගුවන් යානයක් අතුරුදන් - යානයේ ශ්‍රී ලාංකිකයන් නැහැ

පුද්ගලයින් 239 දෙනෙකු සමග අතුරුදන් වූ සිය ගුවන් යානය සම්බන්ධයෙන් තවමත් කිසිදු තොරතුරක් නොලැබුණු බව මැලේසියානු ගුවන් සමාගම පවසනවා. එලෙස අතුරුදන් වී තිබෙන්නේ එම්.එච්. 370 අංක දරන බෝයින් වර්ගයේ ගුවන් යානයක්. ළමයින් දෙදෙනෙකු ද ඇතුළුව මගීන් 227 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු එහි ගමන් කරමින් සිටියා. ගමන ආරම්භ වූයේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් ගුවන් තොටුපොලෙන්. එරට වේලාවෙන් අද අලූයම 6.30ට එම ගුවන් යානය චීනයේ බීජින් නුවරට ළඟා වීමට නියමිතව තිබුණා. කෙසේවෙතත් ගමන ආරම්භ වී පැය දෙකකින් පසු ඒ සමග පැවති සියලූ සම්බන්ධතා බිඳවැටුණු බවයි මැලේසියානු ගුවන් සමාගම කියා සිටියේ. 
අතුරුදන් වූ ගුවන් යානයේ ශ‍්‍රී ලාංකිකයින් කිසිවෙකු නොසිටි බව මැලේසියානු ගුවන් සමාගම පවසනවා. 
මැලේසියානු ගුවන් සමාගම වැඩිදුරටත් කියා සිටියේ එහි සිටි මගීන්ගෙන් 160 දෙනෙකුම චීන ජාතිකයින් බවයි. සෙසු මගීන් සහ කාර්යමණ්ඩලයේ සාමාජිකයන් අතර තවත් රටවල් 12ක පුද්ගලයින් සිටි බවද එහිදී ප‍්‍රකාශ කෙරුණා. 
ඔවුන් අතර චීන සහ තායිලන්ත ජාතිකයන් 154 දෙනෙක් මැලේසියානු ජාතිකයන් 38 දෙනෙක් ඉන්දුනීසියානු ජාතිකයන් 12ක් ඕස්ට්‍රේලියානු ජාතිකයන් 7ක් එක්සත් ආරබි එමිර් රාජ්‍යයේ පුද්ගලයන් 4ක් එක්සත් ජනපදයේ සිව් දෙනෙක් ප්‍රංශ ජාතිකයන් 3ක් නවසීලන්ත ජාතිකයන් 2ක් යුක්රේන ජාතිකයන් 2ක් කැනඩා ජාතිකයන් 2ක් රුසියානුවෙක් ඉතාලි ජාතිකයෙක් නෙදර්ලන්ත ජාතිකයකේ සහ ඕස්ට්‍රීයානු ජාතිකයෙක් වශයෙන් වනවා. මොවුන් අතර කුඩා දරුවන් දෙදෙනා චීන හා එක්සත් ජනපදයට අයත් වනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.