2012-11-23

බහුජාතික දුම්කොළ සමාගමකින් සෞඛ්‍ය ඇමැතිට නඩු

දුම්කොළ ඇසුරුම් නිෂ්පාදන මත රූපමය අවවාද වශයෙන් මුඛ පිලිකා දැක්වෙන රූප සටහන් ඇතුළත් කිරීමට අදාළව නිකුත් කළ ගැසට් පත්‍රයට එරෙහිව එක්තරා බහුජාතික සමාගමක් විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට නඩු පවරා ඇති බව අනාවරණ වනවා.
මෙම තීරණයට එරෙහිව යමින් එම බහුජාතික සමාගම සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව අභියාදනාධිකරණයේ රීට් ආඥාවක් ඉල්ලා අංක 336/2012 යටතේ නඩු පවරා තිබෙනවා. එම සමාගමේ ඉල්ලීම වන්නේ අගෝස්තු 8 දිනැති ලේබල් කිරීම හා ඇසුරුම් කිරීමේ නියෝග අත්හිටුවීමත්, විත්තිකරුවන්ට රූපමය සෞඛ්‍ය අවවාද ඇතුළත් රෙගුලාසි සැකසීම තහනම් කරන ලෙසත්ය. 
අගෝස්තු 8 දිනට නියෝග ක්‍රියාත්මක වීමේ දිනය හා 1783/16 දරන ගැසට් පත්‍රය මගින් 2013 මාර්තු පළමු වැනිදා දක්වා දීර්ඝ කර ඇත. 
මෙම නඩුව ඊයේ (22දා) අධිකරණයේදී කැඳවූ අතර එය 2012 දෙසැම්බර් 5 වැනිදා වනතෙක් කල්දමනු ලැබීය. එම නඩු පැවැරීමට එරෙහිව ස්වේච්ඡා සංවිධානයක් විසින් ඊයේ (22) පෙරවරුවේදී පිටකොටුවේදී සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද සංවිධානය කර තිබුණි.
මේ සම්බන්ධව අදහස් පළ කරන සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ රජයක් ලෙස තමන්ගේ බලාපොරොත්තුව බහුජාතික සමාගම්වල ලාභය උපරිම කිරීම නොව මහජනතාවගේ සෞඛ්‍ය නංවාලීමට කටයුතු කිරීම බවත් ඒ සඳහා කවරෙකු විරුද්ධ වුවත් රජය ලෙස අදාළ පියවරයන් ගන්නා බවත්ය. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.