2013-10-28

ක්ලෝරාට මරණ තර්ජන - පොලීසිය ආරක්ෂාව දැඩි කරයි

උතුරුමැද පළාතේ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා ඉතා ජනප්‍රිය "ක්‌ලෝරා" නමැති පොලිස්‌ සුනඛ අංශයේ බැල්ලිය මරණ තර්ජනවලට ලක්‌වීමට ඉඩ ඇති නිසා එම බැල්ලියට විශේෂ ආරක්‍ෂාවක්‌ ලබාදීමට පියවර ගෙන ඇතැයි පොලිස්‌ නිල සුනඛ අංශයේ අධ්‍යක්‍ෂ පොලිස්‌ අධිකාරී සිසිර වීරකෝන් මහතා පැවසීය.
2011 වසරේ නෙදර්ලන්තයෙන් රුපියල් ලක්‍ෂ දහයකට ගෙන්වු "ක්‌ලෝරාට" අවශ්‍ය කෑම වර්ග ගෙනෙනු ලබන්නේද නෙදර්ලන්තයෙනි. ශ්‍රී ලංකාවේ කෑමට හුරුවී නැති "ක්‌ලෝරා" මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා බොහෝ දක්‍ෂතා දක්‌වයි.
ක්‌ලෝරා මෙතෙක්‌ කරන ලද මත්ද්‍රව්‍ය වැටලීම් සංඛ්‍යාව දෙසීයකට ආසන්නය. මේ නිසා උතුරුමැද පළාතේ සියලුම පොලිස්‌ ස්‌ථාන මගින් සිදු කරන මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා ක්‌ලෝරා ලබා ගැනීමට කල්තියා දින වෙන්කර ගෙන තිබේ.
උතුරුමැද පළාතේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ක්‌ලෝරා බැල්ලිය පිළිබඳව දැඩි වෛරයකින් පසු වෙන බව දැන ගැනීමට ලැබී ඇතැයිද පොලිස්‌ අධිකාරී සිසිර වීරකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම වැටලීම් සඳහා පොලිස්‌ වාහනවලට වඩා පිටස්‌තර වාහනවලින් ක්‌ලෝරා රැගෙන යැමටද පොලිස්‌ සුනඛ අංශය පියවර ගෙන ඇත.

ක්‌ලෝරා නිසා ඇතැම් මත්ද්‍රව්‍ය සැකකරුවන් ප්‍රදේශය අත්හැර ගොස්‌ ඇතැයිද පොලිස්‌ අධිකාරිවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.