බොහෝ දෙනා පිටරට ගියාම තමන්ගේ රට පාවාදීලා කතා කරන බවත් ඒ රටේ තියෙන ඒවා අපේ රටේ නැතැයි කියන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කෙසේ වුවද දැන් “මේ රටේ පිටරට තියෙන හොඳත් තියෙනවා නරකත් තියෙනවා” යැයි හෙතෙම පෙන්වාදුන්නේය.
එසේ නමුත් අපේ රටේ “ජනතාව දැනගන්න ඕන හොඳ දැනගෙන නරක අතහරින්න” යැයිද කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ඊයේ (27) විවෘත කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා පැවසීය.
කොළඹ - කටුනායක මාර්ගය ඊයේ පෙරවරු 9.45ට ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණ.
අනතුරුව ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියද නැගුණු මෝටර් රථය ජනාධිපතිවරයා විසින්ම පදවමින් පෑලියගොඩ පිවිසුමේ සිට කටුනායකට ගොස්, යළි ජා ඇල පිවිසුම දක්වා මෝටර් රථය ධාවනය කර ජා ඇල නගර සභා පිටියේ සංවිධානය කර තිබූ උත්සව සභාව අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය වූ කලී අඩසියවසක ආසන්න කාලයක් තිස්සේ ජනතාවගේ තිබූ බලාපොරොත්තුවක් ලෙස පෙන්වාදිය හැකි බවද ජනාධිපතිවරයා එහිදී කීවේය.
මෙම මාර්ගය ලංකාවට එන - යන, සම්බන්ධකම් පවත්වන, ලොව පුරා ජනතාවගේ පවා අවධානයට ලක්ව තිබූ මාර්ගයක් බවද හෙතෙම පැවසිය.
එදා විදේශිකයන් කීවේ කටුනායකට අවාට මොකද කොළඹට ඒමට පැය ගාණක් යන බව යැයි ද ඔහු පෙන්වාදුන්නේය.
ෆීලික්ස් පෙරේරා ඇමතිවරයා පැවසූ පරිදි ඉන්දියාවේ සිට කටුනායකට ඒමට පැයක් ගත වුවද මෙතන සිට කොළඹට යාමට පැය එකහමාරක් යන බව ජනාධිපතිවරයා පැවසීය.
කටුනායක අයෝජන කලාපයට, විදේශිකයින්ට, සංචාරකයින්ට මේ පාරෙන් ගොඩාක් ප්‍රයෝජන ලැබෙන්නේ යැයි පැවසූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පොදුරද සමුළුවට එන අයට ඔවුන්ගේ දෑස්වලින් මෙරට තත්ත්වය දැක බලාගන්න පුළුවන් යැයිද කියා සිටියේය.
රටක් සංස්කෘතික වශයෙන් කෙතරම් දියුණු වුණත්, සංවර්ධන කටයුතු කළත් විදේශිකයින් රටක දියුණුව ගැන කතා කරන්නේ මහාමාර්ගවලින් බවද ජනාධිපතිවරයා කීවේය.
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයෙන් සිය රජයේ කාර්යක්ෂමතාව, අභියෝග භාර ගැනීමේ හැකියාව නැවත වාරයක් ලෝකයට පෙන්නා ඇතැයිද හෙතෙම පැවසීය.
අවුරුදු 30 ක් තිබුණ ත්‍රස්තවාදය නිම කළ බවත් ලෝකයේ අන් කිසිදු රටකට එවැන්නක් කිරීමට නොහැකි වූ බවත් ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.
මේ නිසා අපට ඒ ගැන ආඩම්බරයෙන් කතා කළ හැකි බවද ඔහු පැවසීය.
කෙසේ හෝ ත්රස්තවාදයට එරෙහිව ක්‍රියාකළ අවසන් දවස්වල මානව අයිතිය අහිමි වුණා කියා ඇතැමුන් විදේශීය රටවලට ගතු කියන බවද ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.
මේ නිසා සැප්තැම්බර්, මාර්තු මාසවල ජිනීවාවල ගිහින් පසුගිය කාලයේදී සිද්ධ වුයේ ඒවාට උත්තර බැඳීමට යැයිද හෙතෙම කීවේය.
මේ නිසාම යුද්ධය නිමවීමෙන් පසු ලංකාවේ බෝම්බ පිපුරුණේ නැතත් ජිනීවා වලදී අපිට පුපුරන්නේ යැයිද ඔහු පෙන්වාදුන්නේය.
එදා ත්‍රස්තවාදය පැරද වූ මැයි 19 වැනිදායින් පසු මේ රටේ එකදු බෝම්බයක්වත් ත්‍රස්තවාදී සිදුවීමක්වත් සිදුනොවූ බවත් ඒ ගැන කිසිවෙකුත් කතා කර නොකියන බවත් ජනාධිපතිවරයා පැවසීය.
ලංකාවේ ජනතාවටත් දැන් ඒක ටික ටික අමතක වෙලා යන බවත් නිදහසේ ඇවිද යනකුට එහෙම වෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා පෙන්වාදුන්නේය.
එහි නරකක් නැති බවද ඔහු කියා සිටියේය.
මේ රට දශක ගණනාවක් මුහුණදී තිබූ අභියෝග ගණනාවක් ජයගෙන ඇති බවත් නිදහස ලැබුණ දවසේ සිට 2005 දක්වා තිබුණ මැතිවරණවලදී අධ්‍යාපනය, සෞඛ්‍ය, මාර්ග ගැන මැතිවරණ ප්‍රකාශවලින් ජනතාවට පොරොන්දු දුන් බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය.
රෝහල්, පාරවල්, වරාය, ගුවන් තොටුපළ, විදුලිය වැනි අවශ්‍යතා ජනතාවට ළඟාකර දී ඇති බව පැවසූ ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණවලදී ඡන්දය ගැනීමට න්යායපත්ර වෙනස් කිරීමට සිදුවන බවද පෙන්වාදුන්නේය.
එදා සියයට 45ක් තිබුණ විදුලි සැපයුම මේවන විට සියයට 96ට වැඩි වී ඇති බවත් ඉදිරියේදී විදුලිය දෙනවා කියා ඡන්ද ගන්න බැරිවෙනු ඇති බවත් ඔහු කියා සිටියේය.
විදුලිය ප්රශ්නය ඒ අනූව ඉවර කර ඇති බවත් අධ්‍යාපන ප්‍රශ්නයද විසඳන්නේ යැයි ජනපති පැවසීය.
අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන ද්වීතියික පාසල් 1000ක් ගොඩනගා අධ්‍යාපන පද්ධතිය දියුණු කිරීමට පියවර ගෙන ඇති බවත් කලා, වාණිජ, විද්‍යා විෂයයන්ට අමතරව තාක්ෂණ විෂය ධාරාවත් පාසල්වලට හඳුන්වාදී ඇති බවත් ඔහු කීවේය.
එදා අපේ ජීවිතයේ වැඩි කාලයක් ගත වුණේ පාරට බවද පැවසූ ජනාධිපතිවරයා අද නගරයට ගියාම පිරිසිදු කම බලාගත හැකි බවත් කොළඹ නගරය මෙන් අනෙක් නගරද සංවර්ධන කරන බවත් කීවේය.
වරාය, ගුවන්, නාවික ක්ෂේත්‍ර ගොඩනගමින් රටේ දුප්පත්කම නැති කර, ආදායම් මාර්ග ගොඩනගමින්, ජනතාවගේ ආයු, වර්ණ, සැප, බල වැඩි කරන්න පියවරගෙන ඇති බවත් ඔහු පැවසීය.
මෙවැනි ව්‍යාපෘති කරද්දී අපට හැම පැත්තෙන්ම චෝදනා එන බවත් සහෝදර සමාගම යැයි කියන බවත් “ඕවා හදලා වැඩක් නෑ” යනුවෙන් නොයෙක් විදියේ මඩපාරවල් එන බවත් හෙතෙම කීවේය.
කෙසේ වුවද එම චෝදනා හුළඟේ නිකන් පාවේලා යාවි යැයිද ජනතාවට අප කෙරේ විශ්වාසය තබන ලෙසත් මේ මාතෘ භූමියට ආදරය කරන ලෙසත් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.
“හයිවේ” කියන එක අපිට අලුත් දෙයක් නොවන බවත් අපේ ඉතිහාසයේ දුටුගැමුණු රජ දවස “මහවේ” කියා විශාල පාරවල් තිබූ බවද ජනපති කීවේය.
මෙම මාර්ගය සැදීමේදී ණය ආධාර දුන්නු චීන ජනරජයට, ඉලක්කයට වැඩ කර දුන්නු චීන සමාගම ඇතුළු පිරිසට හා ජනරජයට ජනාධිපතිවරයා සිය ස්තූතිය ද පළ කළේය.
මෙම උත්සවයට අගමැති දීමු. ජයරත්න, ඇමති බැසිල් රාජපක්ෂ, ෆීලික්ස් පෙරේරා, නිර්මල කොතලාවල, වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර, මධ්‍යම මහ ඇමති සරත් ඒකනායක ඇතුළු මැති ඇමතිවරු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.
උත්සව සභාව සංස්කෘතික අංග රැසකින් ද සමන්විත විය.
චීන රජයේ ණය ආධාර මත කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 350කි.
අන්තර් හුවමාරු මධ්‍යස්ථාන තුනකින් සහ මංතීරු හතරකින් සමන්විත මෙම මාර්ගය කිලෝමීටර් 25.8 දුරකින් යුක්තය.
පැයට කිලෝමීටර් 100ක පමණ වේගයකින් ගමන් කළ හැකි වන පරිදි ඉදිකර ඇති මෙම මාර්ගයේ කටුනායක සිට කොළඹට විනාඩි 20ක පමණ කාලයකින් ගමන් කිරීමට හැකියාව පවතින බව වරාය හා මහමාර්ග අමාත්‍යාංශය පවසන්නේය.
මාර්ගය භාවිත කිරීමේ දී රථ වාහන කාණ්ඩ 4ක් යටතේ මුදල් අය කෙරෙයි.
සියලුම මෝටර් රථ, ජීප්, වැගන්, සියලුම කැබ් රථ, ආසන 9 දක්වා වු සියලුම වෑන් රථ, සැහැල්ලු බඩු ප්‍රවාහන වෑන් රථ, එම ට්‍රක් රථ සහ සැහැල්ලු මෝටර් ලොරි සඳහා පෑලියගොඩ සිට ජා ඇල දක්වා රුපියල් 200ක් ද කටුනායක දක්වා රුපියල් 300ක් ද අය කෙරේ.
ජා ඇල සිට කටුනායක දක්වා අය කරන ගාස්තුව රුපියල් 200කි.
ආසන 9ට වැඩි මගී ප්‍රවාහන වෑන් රථ සහ ආසන 9ත් 33ත් අතර සියලු බස් රථ සඳහා පෑලියගොඩ සිට ජා ඇල දක්වා රුපියල් 350ක් ද කටුනායක දක්වා රුපියල් 450ක් ද අය කෙරෙයි.
එම වාහන සඳහා ජා ඇල සිට කටුනායක දක්වා ගාස්තුව රුපියල් 300කි.
ආසන 33ට වැඩි බස් රථ, සැහැල්ලු මෝටර් ලොරි සහ මෝටර් ලොරි සඳහා පෑලියගොඩ සිට ජා ඇල දක්වා රුපියල් 400ක් ද කටුනායක දක්වා රුපියල් 600ක් ද අය කෙරෙන අතර ජා ඇල සිට කටුනායක දක්වා එම වාහන සඳහා රුපියල් 300ක මුදලක් අය කෙරේ.
බර මෝටර් කෝච් සහ බර මෝටර් ලොරි සඳහා පෑලියගොඩ සිට කටුනායක දක්වා රුපියල් 800ක ගාස්තුවක් අය කෙරෙන බව මහමාර්ග අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
මේ අතර කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ලංගම බස් රථ ධාවනය අද පස්වරු හයේ සිට ක්‍රියාත්මක වේ.
කොළඹ සිට ජා ඇල දක්වා රුපියල් 100ක්, කටුනායක දක්වා රුපියල් 130ක් සහ කොළඹ සිට මීගමුව දක්වා රුපියල් 150ක මුදලක් බස් ගාස්තු වශයෙන් අය කෙරෙයි.
(උපුටා ගැනීම - අද දෙරණ වෙබ් අඩවියෙනි)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.