2013-11-17

කුලියාපිටිය බාලිකා රැඳවුම් නිවාසයේ දැරියන් 13 දෙනෙක් වීදුරු කටුවලින් අත් කපාගෙන

කුලියාපිටියේ රජයේ බාලිකා රැඳවුම් නිවාසයේ ගැහැනු ළමයින්  13 දෙනකු වීදුරු කටුවලින් ‍ලේ වහනය වන තුරු අත් කපාගැනීමේ සිද්ධිය පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙසට කුලියාපිටිය ‍පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කළ කුලියාපිටිය මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා, ජාතික පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස්වරයාට, වයඹ පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස්වරයාට හා කුලියාපිටිය පරිවාස කාර්යාලයේ ස්ථාන භාර නිලධාරිවරයාට මෙම මස 19 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ද ඊයේ (15) නියෝග කළේය.
කුලියාපිටියේ පිහිටා ඇති රජයේ බාලිකා රැඳවුම් නිවාසයේ ගැහැනු ළමයින් 13 දෙනකු වීදුරු කටුවලින් අත් කපාගෙන ‍ලේ වහනය වෙමින් තිබූ සිද්ධියක් සම්බන්ධයෙන් කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (15) කරුණු වාර්තා කළ කුලියාපිටිය ‍පොලිසිය එම දැරියන් හා මෙම සිද්ධිය පිළිබඳ සුදුසු අධිකරණ නියෝග ලබා දෙන ලෙස ද ඉල්ලීමක් කළේය.
මෙම රැඳවුම් නිවාසයෙන් වෙනත් රැඳවුම් නිවාසයකට යාමේ අවශ්‍යතාව ඉටුකර ගැනීම සඳහා එසේ කරගත් බව එම දැරියන් රැඳවුම් නිවාසයේ සහකාර පාලිකාවට පවසා ඇතැයි ද ‍පොලිසිය සඳහන් කළේය.
මෙයට පෙර එක් දැරියක රැඳවුම් නිවාසයෙන් පැනගිය අතර තවත් දැරියක වස වර්ගයක් පානය කිරීමක් සම්බන්ධයෙන් ද ‍පොලිසියට පැමිණිලි ලැබි ඇති බවත්, විශාල අර්බුදකාරී තත්ත්වයක් මෙම රැඳවුම් නිවාසයෙහි පවතින බවත් යම් යම් අතවරයනට ලක්ව අධිකරණයේ නියෝග මත රඳවා සිටින දැරියන් ද මෙම රැඳවුම් නිවාසයේ සිටින බැවින් රැඳවුම් නිවාසයේ දැරියන්ගේ ආරක්ෂාව පිළිබඳව ඉක්මනින් පියවර ගැනීමට අවශ්‍ය සුදුසු අධිකරණ නියෝග ලබා දෙන ලෙසත් ‍පොලිසිය සිය වාර්තාවෙන් ඉල්ලීමක් කළේය.
මෙම 19 දා දක්වා එම බාලිකා රැඳවුම් නිවාසයට කාන්තා ‍පොලිස් නිලධාරිනියන්ගේ ආරක්ෂාව ලබා දෙන ලෙස ද ‍පොලිසියට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
එම නඩුව මෙම මස 19 වැනි දිනට අධිකරණයට නැවත කැඳවීමට නියම කෙරිණි.
කුලියාපිටිය ‍පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ‍පො.සැ. (50397) ඒ.ඩී. සරත් මහතා ‘ඒ’ වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කළේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.