2013-11-27

සිදුහත් කුමරුන් ලොව එළිය දුටු ලොව පැරණිම පන්සලේ නටඹුන් සොයා ගැනේ

මහාමායා දේවිය සිදුහත් කුමරුන් බිහිකරන අවස්ථාවේ අසල තිබූ බව සැලකෙන සල්ගස ආවරණය කර තැනූ විහාරය නේපාලයේ ලූම්බිණි සල් උයනෙන් සොයා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලූම්බිණියේ මහාමායා දේවි විහාරස්ථානය අසල සිදුකළ කැණීම්වලදී සොයාගෙන ඇති මෙය මෙතෙක් ලොව හමු වූ පැරණිතම බෞද්ධ සිද්ධස්ථානය ලෙස එම වාර්තාවල දැක්වෙන්නේ. සිදුහත් කුමරුන්ගේ උපත පිළිබඳව මෙතෙක් පැවති මත භේදය මෙම නව සොයා ගැනීම මගින් නිරාකරණය වනු ඇති බව පුරා විද්‍යාඥයින් පවසනවා. කි‍්‍රස්තු පූර්ව හයවන සියවසට අයත් මෙම විහාරයේ පියස්සක් නොමැති වීමෙන් එය සල් ගස ආවරණය කළ සැකිල්ල ලෙස විශ්වාස කෙරෙනවා. 
ලීයෙන් කරන ලද පැරණි විහාරයක නටබුන් මායාදේවි විහාරයේ මධ්‍යයේ කරනු ලැබූ කැණීම්වලදී හමුව තිබෙනවා. මේ නව සොයාගැනීම් නිසා සිද්ධාර්ථ කුමරු උපන් දිනය වසර සියයකින් පමණ වෙනස් විය හැකි බව බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයෝ පවසනවා. සාමාන්‍ය පිළිගැනීම වන්නේ සිද්ධාර්ථ කුමරු උපන්නේ ක්‍රි.පු. 623 දී බවයි. නමුත් මේ සොයාගැනීම් අනුව එය ක්‍රි.පූ. 550 දී සිදුවන්නට ඇතැයි යන මතය පුරාවිද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරනු ලබනවා.
අශෝක අධිරාජ්‍යයා ලුම්බිණි සල්උයනේ අශෝක ස්‌ථම්භය පිහිටුවනු ලැබුවේ ක්‍රි.පූ. 249 දීය. විනාශයට පත්ව තිබුණු මායාදේවි විහාරය ඉංග්‍රීසි පුරාවිද්‍යාඥයන් විසින් සොයාගනු ලැබුවේ 1896 දීය. එය වර්තමානයේ යුනෙස්‌කෝ ලෝක උරුම ස්‌ථානයක්‌ ලෙස ප්‍රකාශයට පත්කර ඇත.  මේ පැරණි විහාරයේ බෝධිඝරයක්‌ තමන් සොයාගත් බව පුරාවිද්‍යාඥ රොබින් කොනින්හැම් පවසයි. පුරාවිද්‍යාඥයන් වන බ්‍රිතාන්‍ය ජාතික රොබින් කොනින්හැම් හා කෝසාල් ප්‍රසාද් ආචාර්යා මේ කැණීම් නිරීක්‍ෂණය කරන අයුරු පහත ඡායාරූපවලින් දැක්වේ.








No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.